දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව ඊයේ (22) දැනුම්දී තිබේ.
ජනාධිපති මැතිවරණයෙන් මෙතෙක් නිකුත් කරනු ලැබූ ප්‍රතිඵල අනුව තරගයට ඉදිරිපත්වූ වෙනත් අපේක්ෂකයෙක් ජනාධිපති ධූරයට පත්වීමට සුදුසුකම් ලබන බව පෙනී යන හෙයින් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හෙතෙම ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.
2023 මැයි මස වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් තමන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටින අතර වසරක පමණ කාලයක් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ බව හෙතෙම පවසයි. ඉන් අනතුරුව 2024 මැයි මස දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කිරීම ගැන ද ස්තූතිය පුද කර සිටින බව අබේවර්ධන මහතා සඳහන් කරයි.
ආණ්ඩුකාර ධූර හෙබවූ කාලයේ තමන්ගේ උපරිමයෙන් පළාත් දෙකෙහිම සේවය කළ බවත් ආර්ථික අර්බුදයේදී රටේ ජනාධිපති ධූරයට පත්වී එම අර්බුදකාරී තත්ත්වයෙන් රට ගලවා ගැනීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය අගය කරන බවත් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.