Home » මේ වනාහි දේශයේ න්‍යාය පත්‍රය මත අත තබා දෙන ලද දිවුරුමකි

මේ වනාහි දේශයේ න්‍යාය පත්‍රය මත අත තබා දෙන ලද දිවුරුමකි

by sachintha
September 24, 2024 1:10 am 0 comment

දෙවැනි මනාපය ගණනය කිරීම හේතුවෙන් පෙරේදා සන්ධ්‍යාව වන තෙක් ප්‍රතිඵල ලැබීම ප්‍රමාද විය. ඒ මදිවාට කොමිසමේ සභාපතිතුමාගේ ස්තුති කතාවය. එතුමාණෝ ඡන්ද දායක ලැයිස්තුවට ස්තුති නොකළේ අපේ පිනටය. ඒ නම් ලිස්ට් එක හැර අන් සියල්ලටම සභාපතිතුමාණෝ තුති පුද කළ හෙයින් ජයග්‍රාහකයා පිළිබඳ නිල ප්‍රකාශය තවත් ප්‍රමාද විය.

ඊයේ උදෑසන මේ රටේ නවවැනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම දෙයාකාරය. එය ඉතිහාසයේ සඳහන් වන්නේ දෙවියන් උදෙසා ලබාදෙන පොරොන්දුවක් ලෙසය. මිනිසුන් තම ජීවිතය අත්හරින්නේ මුත්, දිවුරුම කඩ නොකරන්නේය යන්න භාරත සම්ප්‍රදායය. දශරථ රජු ඉදිරියේ කෛකේයි බිසව ලබා දුන් දිවුරුම් හේතුවෙන්, ප්‍රියතම පුත් රාමට, ඔහුගේ භාර්යාව වූ සීතා සහ සහෝදර ලක්ෂ්මණ සමඟ දාහතර වසක් වනාන්තරයේ ගත කිරීමට සිදු විය.

මහා භාරතයේ එන දෙව්රට, බ්‍රහ්මචර්යාවේ දිවුරුම් දුන්නේ සත්‍යවතීගේ පියා ඇයව දෙව්රටගේ පියා වන ශාන්තනු රජුට විවාහ කර දෙනු පිණිසය. රාජධානිය පාලනය නොකරන බවටත්, සත්‍යවතීගෙන් පැවත එන රජුට පක්ෂපාතීව සිටීමත් ඒ දිවුරුමේ විය. දේවව්‍රතාට භීෂ්මා යන නම ලැබුණේ එම දිවුරුම නිසාය. ‘දරුණු දිවුරුමක් දුන් තැනැත්තා’ යන්න එහි අර්ථයය.

මේ දෙවියන් ඉදිරියේ සිදු කරන දිවුරුමය. පුද්ගලයෙකු සමාජයේ වැදගත් තානාන්තරයක් ලබා ගන්නා විට, තම වගකීම් නිසි පරිදි සහ අඛණ්ඩව ඉටු කරන බවට ලබා දෙන නෛතික පොරොන්දුව ද දිවුරුමකි. මේ රටේ නවවැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ඊයේ ලබා දුන්නේ එම දිවුරුමය.

මෙතැන් සිට මේ දේශය සඳහා නව මාවතක් විවර වන්නේය. එය ජනාධිපතිවරයාගේ දිවුරුම් වගකීමේ සිට ඔහු වෙත ඡන්දය ලබාදුන් සහ නොදුන් සකල ලාංකේය ප්‍රජාව සඳහාමැ වලංගු වන්නකි. ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකය. ලබා ගැනීම සඳහා දැරිය යුතු වෑයම මහත්ය. පාරෙන් අහුලාගත නොහැකිය. අවසාන ජයග්‍රාහකයා විය යුත්තේ, රටේ ජනතාවය. තම කැමැත්ත ලබාදී රටක් වශයෙන් ඒ සඳහා වන වගකීම නායකයාට පවරා දුන් පමණ, ජනතාවට පැත්තකට වී සිටිය නොහැකිය. මත දරා පමණක් හාන්සි පුටුවේ සිට දේශපාලනය කිරීමේ කාලය දැන් නිමා කළ යුත්තේය. රටේ ජයග්‍රහණය උදෙසා ඡන්දය ලබාදීමෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමෙන් අප ලබාදී ඇත්තේ ද වක්‍ර දිවුරුමකි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඍජු දිවුරුම සමඟ ජනතාවගේ වක්‍ර දිවුරුම ද සමපාත විය යුත්තේ, රටේ අනාගතය පවතින්නේ ඒ සපථ කිරීම මත හෙයිනි.

ඔහු මේ දැයේ ඉදිරි පස් වසර සඳහා වන නායකයා පමණක් නොවේ. මේ රට චිරාත් කාලයක් කරේ තබාගෙන ආ ණය කන්ද නාය ගියේ, වසර දෙකහමාරකට පෙරය. ළඟ නවා සහන ආදිය ලබාදී, හැපනින් තීන්දු ගැනීමේ විපාකය විඳවන ලද්දේ පනස් වසරකට පමණ පසුවය. මූල්‍ය අරමුදලේ නෛතික රාමුවක් මැද්දේ ශ්‍රී ලංකාව දැන් පින්තූරක් සේය. එය ආර්ථිකයෙන් යම් තාක් හිස ඔසවා ඇත්තේය. එසේ වුවද අභියෝගාත්මක කාර්යය ඇත්තේ මෙතැන් පටන්ය. බදු බර සම්බන්ධයෙන් ජනයා වෙත අඳෝනාවක් තිබේ. ජීවන වියදම උඩ ගොස් ඇති පදම මෙනෙහි කරන සඳ, මාසයේ ඉතිරි සති තුන ගෙවා දමන්නේ කෙසේද යන්න මාස් පඩිකාරයාට ප්‍රශ්නයකි. දවස් කුලියට සේවය කරන, ස්වයං රැකියා ආදියේ යෙදෙන පන්තිය ද ඒ සා බරක් දරා, ජීවන ගමනේ යෙදෙන්නේය. එහෙව් රටක සියලු ප්‍රශ්න එක්වන විසඳිය නොහැකිය. සඳුන් හර ගෙන මේ නායකයෝ ඉපදී නැත්තාහ. මා මැජික්කාරයෙක් හෝ ඉන්ද්‍රජාලිකයෙක් නොවේ යැයි ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා ප්‍රකාශ කරන ලද්දේ මේ කාරණයය.

ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් සමඟ, පැටලුණු නූල් බෝලය ලෙහාගත යුතුව ඇත. ඡන්දය දුන් නොදුන් සියලු දෙනාගේ ජනපති ලෙස ඒ අභියෝගය සඳහා මේ රටේ සකල ජනයා ඔහු සමඟ පෙළගැසිය යුතුව ඇත. විවේචනය පවා සාධනීය ආකාරයෙන් මිස, දේශපාලන න්‍යාය පත්‍ර කර දරා ගෙන නොයා යුතුය.

තවදුරටත් පොර අල්ලා රටේ ජන ජීවිතය සහ අනාගතය පොළොවේ ගැසීම නොකළ යුත්තේය. අප ගෙවන දුෂ්කර කාලය මේ වසර කිහිපයේදී නිමා කර ගත යුතු හෙයින් ‘එකා සැමටත් – සැම එකාටත්’ යන ආකාරයෙන් රටේ වගකීම සමසේ සැම දෙනා අතට පත්ව ඇත්තේය.

දකුණු අප්‍රිකාවේ ප්‍රේටෝරියා නගරයේ යුනියන් ශාලාවේදී 1994 මැයි 10 වෙනි දින නෙල්සන් මැන්ඩෙලා දිවුරුම් දුන්නේය. දකුණු අප්‍රිකාවේ පළමු මහජන නායකයා පමණක් නොව ලෝක සමානාත්මතාවයේ ද හෙතෙම බලාපොරොත්තුවක් විය. අපර්තේයිඩ් පාලනයට එරෙහිව 27 වසරක අඛණ්ඩ සටනේ ජයග්‍රහණය ඒ දිවුරුමේ ගැබ්විය. ඊයේ උදෑසන ලබා දුන් දිවුරුම ද ඒ සා මහත් බලාපොරොත්තුවක් මේ රටේ ජනයා වෙත එකතු කළේය.

ගැබ්බර වූ බලාපොරොත්තු පොදියක් මැතිවරණ විළිරුදාවකින් පසු සිය අපේක්ෂාව 22 වෙනිදා සන්ධ්‍යාවේ බිහි කර ගත්තේය.

එහි නම් තැබීමේ මංගල්‍යය ඊයේ වූයේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ලබා දුන් දිවුරුමය. මෙතැන් සිට අපට ඇත්තේ

ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා ඇතිනි රැලේ හැමටම කිරි එරේයා දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා පුතුනේ බලන් සත් සමුදුර පිරේයා

සේ, ඡන්දය නම් වූ කිරෙන් බිහි කළ නායකයා, සියලු දෙනාගේ ඒකමතයෙන් දේශයේ අනාගතය සඳහා රැගෙන යෑමය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT