Home » මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65ක ජල කප්පාදුවක්

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65ක ජල කප්පාදුවක්

by chanaka
September 25, 2024 2:55 pm 0 comment

water Cut

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, මේ හේතුවෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවය.

වසර දෙකකට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය අනිද්දා (27) මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට සැලසුම්කර තිබේ.

මහවැලි අධිකාරිය සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් ජලාශයේ නඩත්තු කටයුතු මෙම දිනවලදී සිදුකිරීමට තීරණය කළ බවය.

ඒ අනුව ජලාශයේ රැස්ව තිබෙන ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමට නියමිතය.

ජලාශය හිස්වීමත් සමඟ ක්‍රීඩා කිරීමට හෝ මසුන් ඇල්ලීමට මහවැලි ගඟට බැසීම අවදානම් බැවින් එලෙස ක්‍රියාකිරීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.

පොල්ගොල්ල ජලාශය හිස් කිරීමත් සමඟ විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට 28 වැනිදා සහ 29 වැනිදා යන දෙදින තුළ ජලය ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බැවින් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව සෙනසුරාදා අලුයම 1 සිට සැප්තැම්බර් 30 වන දා පස්වරු 6 දක්වා පැය 65ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

මහනුවර නගර සභා බලප්‍රදේශයට, හාස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන ක්‍රමවලට අයත් ප්‍රදේශවලට, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වලල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT