Home » එජාපය හදන සන්ධානයට පොහොට්ටුව නෑ

එජාපය හදන සන්ධානයට පොහොට්ටුව නෑ

by sachintha
September 25, 2024 1:04 am 0 comment

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට තම පක්ෂය සූදානම් නමුත් එක්සත් ජාතික පක්ෂය ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පෙරවරුවේ පැවැති දේශපාලන බලමණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සූදානම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ජනතාවගේ මතය බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රතිඵලය පිළිගන්නා බව ද පක්ෂයක් ලෙස ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද පෙන්වා දුන්නේය. වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙනවා ද යන්න පිළිබඳ තීරණයක් ගෙන නැතැයි කී ඒ මහතා පක්ෂයක් ලෙස තීන්දුවක් ගන්නා බව ද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීමට හැකියාව ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවසීය.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම තරග කරනවා ද සන්ධානගතව කටයුතු කරනවා ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය ගොඩනඟන සන්ධානයට එකතු නොවන බව ද කීවේය. පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත එක්කර ගන්නවා ද යන්න සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙන අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කළ බව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. පක්ෂය හැර ගිය අය බොහෝ දෙනකු නැවත පක්ෂය සමඟ එක්වීමට ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT