හිසකෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ හිසකෙස් ගැලවී යෑමේ සිද්ධියට අදාළ රූපලාවණ්‍යාගාරය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (26) දහවල් මුද්‍රා තබන ලදි. අදාළ කාන්තාවගේ හිසකෙස් සකස් කිරීමට ගල්වන ලද ආලේපන වර්ග දෙකක සාම්පල් මෙහිදී ලබාගත් බවත් එම ද්‍රව්‍ය සාම්පල මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කළ බවත් ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි උදය නාමල්ගම මහතා පැවසීය.
මේ පිළිබඳ අද (27) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවසීය.
අධිකරණය මඟින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා මඟින් අපේක්ෂිත ඇප අයදුම්පතක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා සමඟ රූපලාවණ්‍යාගාරයට පැමිණ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හට එහි ඉබි යතුරු භාරදී විවෘත කර පරීක්ෂා කිරීමට පහසුකම් සලසා දී තිබිණි.
රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීම අද (27) සිදු කිරීමට නියමිතය.
මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක වජිරා ශාමලි, කාන්තා පොලිස් සැරයන් (377) කේ.ජී.ඩී. හර්ෂිකා යන මහත්මීන්ගේ සහාය ඇතිව ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි උදය නාමල්ගම, විමර්ශන නිලධාරීන් වන ඉන්දික නන්දගේ, අමිල ඒකනායක, හර්ෂ පෙරේරා, කසුන් කුමාර, නිලුකා බඹරවත්ත මහත්ම මහත්මීහු මේ සඳහා එක්ව සිටියහ.