Home » කලාකාමී හදවතක් නැත්නම් ජීවිතය හිස් අවකාශයක්

කලාකාමී හදවතක් නැත්නම් ජීවිතය හිස් අවකාශයක්

ප්‍රවීණ රංගන ශිල්පී ජගත් චමිල

by mahesh
September 27, 2024 1:00 am 0 comment

ශ්‍යාමා සමරසිංහ

ඔබ රංගන ජීවිතයට අත්පොත් තබන්නේ කෙසේද?

මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. වේල්ස් කුමර විද්‍යාලයේදී තමයි මට හරි අපූරු නාට්‍ය ගුරුවරයා හමුවුණේ. එතුමා තමයි, තිස්ස ගුණවර්ධන ගුරුතුමා. එයා යටතේ මම පාසල් වේදිකාවේ නාට්‍යවලට සම්බන්ධ වුණා. 1992 පාසල් සමස්ත ලංකා නාට්‍ය තරඟවලින් හොඳම නළුවා, හොඳම වේශ නිරූපණ ශිල්පියා සම්මාන ලැබුවා.

ඊට පස්සේ මොරටුවේ සිටි අශෝක පීරිස් කියන හරි අපූරු රංගන ශිල්පියාගේ හමුවීම සිදු වුණා. ඒ වෙනකොට එයා බොහෝමයක් කලා කටයුතුවලට අතහිත දුන්න කෙනෙක්. විජය ධර්ම ශ්‍රී කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයාට එයා මාව හඳුන්වා දුන්නා. තිස්ස සර්ගේ ජගත් චමිල කියන දක්ෂ දරුවාට අවස්ථාවක් දෙන්න කියලා. 1989 දී ගුරු ගෙදර චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කරනවා. ඒක 1992 තිරරගත වුණා. එදා පටන් විවිධ අවස්ථාවල මම විවිධ සිනමා පටවල රංගන ශිල්පියෙක් විදියට දායකත්වය සපයනවා.   

ඔබ වේදිකාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් වෙන්නේ කොහොමද ?

මම සිනමාවේ වැඩ කටයුතු කරන අතරතුරම ලැබෙන අවස්ථාවල වේදිකාවටත් ගොඩ වෙනවා. පාසල් වේදිකාවෙන් පස්සේ, මම විවිධ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරු සමඟ වැඩ කරනවා. ඒ අතරින්, අසංක සායක්කාර, චාලක රණසූරිය, චාමික හත්ලහවත්ත, ඉන්දික ෆර්ඩිනෑන්ඩු, සුනිල් චන්ද්‍රසිරි, අකිල සපුමල් කියන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරු යටතේ වැඩ කළා. සංඝදාසගෙ චූටි කලිසම, මාරක ලිඳේ සවාරියක්, මකරා, රතු මගුල් කපුවා, මකරට, දොන් ජුවාන් ඒ අතරින් ප්‍රධානයි. ඒ අතරේ 2005 වර්ෂයේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ සුනිල් චන්ද්‍රසිරිගේ දොන් ජුවාන් වේදිකා නාට්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා.

ඔබ රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය ගැන කතා කරමු ?

විවිධ අධ්‍යක්ෂවරු යටතේ විවිධ ටෙලි නාට්‍යවල මම රංගන ශිල්පියෙක් විදිහට වැඩ කළා. මගේ පළමු ඒකාංගික ටෙලි නාට්‍යය තමයි 1992 දී කළ Òයොමු නුවන්Ó. ඒක විජය ධර්මශ්‍රීගේ නාට්‍යයක්. ඊට පස්සේ Òදූ දරුවෝÓ කියන දිගු නාට්‍ය මාලාවට මම සම්බන්ධ වුණා. එතැන් සිට අද දක්වාම විවිධ අධ්‍යක්ෂවරු යටතේ විවිධ ටෙලි නාට්‍යවල විවිධ ආකාරයේ චරිත සඳහා මම රංගනයෙන් දායක වෙනවා. හොඳම නළුවා, ජනප්‍රිය නළුවා, හොඳම සහාය නළුවා සම්මානත් මම ලැබුවා.

ඔබ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පියෙක් ?

ඔව්. 2013 දී ප්‍රියංකර විතානාරච්චිගේ Òසැමීගේ කතාවÓ චිත්‍රපටයට New York City ජාත්‍යන්තර සම්මාන උලෙළේදී හොඳම නළුවා සම්මානය හිමි වුණා. ඒ වගේම 2020දී දර්ශන රුවන් දිසානායකගේ Òගොවි තාත්තාÓ චිත්‍රපටය වෙනුවෙන් ඔස්ට්‍රියාවේ පැවතුණු අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානයත් ලැබුණා.

අපි පාස්පෝට් ගැන කතා කරමු ?

පාස්පෝට් චිත්‍රපටය කියන්නේ සාමූහිකත්වයෙන් යුතු කණ්ඩායමක ප්‍රතිඵලයක්. අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්‍රිස් ඇන්තනී තමයි පාස්පෝට් අධ්‍යක්ෂණය කළෙත්. මේක ක්‍රිස් ඇන්තනීගේ පටන් නිර්මාණය අවසන් වන තුරු සියලු දෙනාම කැප වෙලා උනන්දුවෙන් වැඩ කරපු චිත්‍රපටයක්. ඒ වගේම පාස්පෝට් කියන්නේ ආදරය පිරුණු චිත්‍රපටයක්. ධර්මප්‍රිය ඩයස්, නයන තාරා, අමතක කරන්නම බෑ. මේ අයගේ දායකත්වය සහ සහයෝගය හරිම ඉහළයි. මම පණ පොවන්නේ අමරේගේ චරිතයට. මගේ යහළුවා, සමන්ගේ චරිතය කරන්නේ ධර්මප්‍රිය ඩයස්. අමරේටයි, සමන්ටයි තාරුණ්‍යය තුළ අපේක්ෂා තියෙනවා. මේක පාස්පෝට්වල කතා කරන කොස්ලන්ද ගමේ විතරක් නෙවෙයි, මුළු රටේම තරුණයන්ට තියෙන බලාපොරොත්තුවක්. මොවුන් ජීවිත පරදුවට තියලා අරමුණ වෙනුවෙන් ගමන් කරන ආකාරය මෙහි කතා කෙරෙනවා. ඒ වගේම ආදරය කියන එක අපි හැමෝටම අවශ්‍ය දෙයක්. හැබැයි අපි එක එක්කෙනා එක එක විදිහට තමයි ආදරේ හසුරවා ගන්නේ. ආදරේට කරන්න බැරි දෙයක් නෑ. ඒක පාස්පෝට් එකෙන් හොඳට හෙළිදරව් වෙනවා. මේක පවුලේ හැමෝටම එකට එකතු වෙලා බලන්න පුළුවන් චිත්‍රපටයක්. ආදරය මුසුවුණු විනෝදය, ත්‍රාසය, ප්‍රහසනය, භීතිය මේ සියලු දේවල් එක්ක නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඒ වගේම සතුටින් නරඹන්න පුළුවන් චිත්‍රපටියක්.

වර්තමානයේ නිර්මාණකරුවන්ට සිය නිර්මාණ කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා කිව්වොත්, ඔබේ පිළිතුරු කුමක්ද?

මට එහෙම දෙයක් පෙනෙන්නේ නෑ. කලාව ගැන කතා කරන්න පුළුවන්, නිර්මාණකරුවන්ට නිර්මාණවලට කැපවෙන්න පුළුවන් කාලයක නෙවෙයි අපි පසුගිය කාලය ගත කළේ. මේ වගේම ඒ නිර්මාණය වූ දේවල් පිළිබඳ ගැටලුකාරී අදහස් තියෙනවා. ඒ වගේම මේ හැදුණු නිර්මාණ ගැන විවේචනත් තියෙනවා. එවන් නිර්මාණ ද අපි බලාපොරොත්තු වෙන්නේ කියන ගැටලුව තිබුණා. පැවතුණු සමාජ ආර්ථික සහ දේශපාලන රටාවත් මේවට බලපෑවා. ඒ වගේම කලාකරුවෝ පසුගිය කාලයේ ඉතාමත් අසරණ තත්ත්වයකයි හිටියේ. ඒකට හේතුව නිර්මාණයක් කරන්න තියෙන අපහසුකමයි. ඒ වගේම ප්‍රේක්ෂකාගාරයක් හදාගන්නත් තියෙන අපහසුකම තදින්ම බලපෑවා. ඒ වගේම කලාවක් අවශ්‍ය නැහැ කියන තැන තමයි පසුගිය කාලේ වැඩ සිද්ධ වුණේ. කලාකාමී හදවතක් නැත්නම් එතැන තියෙන ජීවිත හිස් ජීවිත විදිහටයි මම දකින්නේ. දැන් අපට කලාකරුවන් විදිහට අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි කලාකරුවන්ට අහිමි වූ අවස්ථාව ලැබෙයි කියලා. එයින් තමන් කැමති නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් වෙතට සමීප වෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

මේ දිනවල ඔබේ නිර්මාණ කටයුතු මොනවාද ?

මේ දවස්වල සංඝදාසගෙ චූටි කලිසම, නරි බුරති, මාරක ළිඳේ සවාරියක්, නයන ලලන, කියන වේදිකා නාට්‍යවල වැඩ කටයුතු වගේම ටෙලි නාට්‍යවලත් වැඩ කටයුතුවල නියැළෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT