Home » රවීන්ද්‍ර රන්දෙණියට ආදි බෙනඩික්ට් ඇගැයීමක්

රවීන්ද්‍ර රන්දෙණියට ආදි බෙනඩික්ට් ඇගැයීමක්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

නිශ්ශංක විජේරත්න

කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලේ වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උලෙළ අද (27 දා) විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මෙවර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනුයේ ප්‍රවීණ රංගධර ආදි බෙනඩික්ට් ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියයි. 1974 කළුදිය දහර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රවීන්ද්‍ර රන්දෙණියගේ සිනමා දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ආදි බෙනඩික්ට් ඇගැයීම වෙනුවෙන් මෙවර සිංහල සාහිත්‍ය කලා උලෙළේදී ඔහුව ඇගැයීමට පාත්‍ර වී ඇත.


solotown කැනඩාවේ

සැප්තැම්බර් 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පුරා සති අන්ත දෙකක් solotown අති සාර්ථක ලෙස කැනඩාවේ නගර කිහිපයකම ශ්‍රී ලාංකේය ප්‍රදර්ශනයට ප්‍රථම තිරගත වීම සිදු කෙරිණි.


“සඳ වික්කා” ගෙනෙන තරංග

සිංහල සංගීතයේ, සඳ විකුණූ හාදයා සොයා ගිය, අපි අන්තිමේදී නැවතුණේ අනුරාධපුරේ, ගලෙන්බිඳුණු වැවෙන්. පද්මා ජයසිංහගේ පද රචනයක් වන, සේනානායක වේරලියද්ද සංගීතවත් කළ තරංග සම්පත් ගයන, ‘සඳ වික්කා’ මේ දිනවල සමාජමාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය ගීතයක්. මේ එහි ඇතුළාන්තයෙන් බිඳක්.

“ තරංග අපට ආගන්තුකයෙක් නොවෙයි. ඔහු මින් පෙරදීත් ස්ව නිර්මාණ නව්‍යකරණයකින් යුතුව එළිදැක්වූවෙක්, මියුසික් වීඩියෝ 6කින් සංගීත රසිකයා පිනවූ තරංග, ඈත ක්ෂිතිජයේ ගීත එකතුවෙන් ගී දොළොසක් සමඟ මින් පෙර සිංහල ගී කෙත අස්වැද්දූවෙක්. එවන් ඔහුගේ, සඳ වික්කා, ගීතය මුල්වරට එළි දැක්වූයේත් දශකයකට පමණ ඉහතදීයි. එහෙත් එදා නොවූ විරූ අයුරින් මෙවර ශ්‍රාවකයා අලුත් කළ ඒ ගීතය වටා රොඳ බැඳගෙන තිබෙනවා.

තරංග සම්පත්, සංගීත ගුරුවරයෙක්. සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ සංගීතය විෂයයක් විදියට හැදෑරූ, සංගීත උපාධිධරයකු වන ඔහු පාසල් ගුරුවරයකු වශයෙන් සංගීතය ඉගැන්වීමේ නිරතව සිටින්නේත් ඔහු උපන් අනුරාධපුරයේමයි. ඉඳින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් ලාංකේය සංගීත වේදිකාවට ගොඩවූවකු වන සම්පත්ගේ, සඳ වික්කා, ගීතය වෙනස් පද මාලාවක් හා තනුවක් උරුම කර ගත්තෙක්. ඒ ඇතුළු විශේෂතා පිළිබඳ හැඟීම් තරංග වචනයට පෙරළුවේ මෙහෙමයි.

‘මෙරට සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික වටපිටාවට මේ ගීතයේ පදමාලාව හොඳින්ම ගැළපුණා. ඒ වගේම, ජනවහරේ එන, ප්‍රස්ථාව පිරුළු, ඉඟි වැකි, රූඬි ආදිය ඇතුළත් ජනශ්‍රැති ඇසුරෙන් ගළපාගත් උපහාසාත්මක පද මාලාවත් ඊටම කදිමට ගැළපෙන තනුවක් නිසා මේ වෙනස් ගී නිර්මාණයට සමාජ මාධ්‍ය ඔස්සේ මෙතරම් නැරඹුම් වාර, ලැබෙන්නට ඇතැයි සිතනවා.

‘ලක් අම්මගෙ හැඹිලිය හොරු අරන් ගිහිල්ලා’
අත්තාපල් මුත්තාපල් ලුණු හොයපල්ලා..’

අනෙක, සංගීතය දැනගෙන මේ ගමන එන්නට මට සෞන්දර්යය සරසවියේදී ලද පන්නරය අතිමහත්. ඒ වගේම, මගේ පවුලේ අයගෙන් ලැබුණු අත්වැල. මගේ පියා, සේනානායක වේරලියද්ද මහතා හමුවී කළ ඉල්ලීම පිළිගෙන ඔහු “සඳ වික්කා” ගීයට තනුව යෙදුවා. මගේ, ‘පනාවේ දැති අතරින්’, කරණවෑමි සොහොයුරකුගේ ජීවන අන්දරය කියා පාන්නේ. ඒ, ෂෙහාන් ගලහිටියාවගේ පදවලට ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කිරීමක්. ඒ හැරෙන්නට, ‘සීත පිරුණු වැහි දවසක’, ගීතය පද්මා ජයසිංහ රචනයක්. රොෂාන් ප්‍රනාන්දුගේ තනුවක්…”


විරුලිය සෙවණින් “ආපසු හැරෙන්” 01දා

ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සේවයේ හිටපු කාන්තා ප්‍රවීණයන්ගේ සංවිධානයක් වන “විරුලිය සෙවණ” සිය 10 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරමින්, ලෝක ළමා දිනයට සමගාමීව “ආපසු හැරෙන්” නමින් වාර්තාමය ළමා චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. ළමයින් කේන්ද්‍ර කොටගෙන නිර්මාණය කර ඇති මෙම කාලෝචිත චිත්‍රපටය, නවීන සමාජයේ දරුවන් සහ තරුණ පරපුර තාක්ෂණික මෙවලම් භාවිතය නිසා නොදැනීම ඇදීයන අහිතකර බලපෑම් සහ වර්තමාන තරුණ පරම්පරාව මුහුණ දෙන අභියෝග සියුම් ලෙස ගෙනහැර දක්වයි. එසේම වැඩිහිටි පරපුර තමන් විසින්ම විසඳුම් සෙවීමට දිරිගන්වමින්, දරුවන්ට ආරක්ෂිත සහ වඩා යහපත් පරිසරයක් නිර්මාණය කරවීමට බලගැන්වීමේ පණිවිඩයකින් කතාව අවසන් වේ.

මෙම වාර්තාමය චිත්‍රපටය “යහ ගුණ දම් වැඩුම උතුම්” යන විරුලිය සෙවණ ආදර්ශ පාඨයේ තේරුම වඩාත් ඉස්මතු වන ලෙස නිර්මාණය කර ඇති අතර එහි රංගන දායකත්වය විරුලිය සෙවණ හමුදා සාමාජිකාවන්ගේ දක්‍ෂ දරුවන් වීම විශේෂත්වයකි.

“මෙම වාර්තාමය ළමා චිත්‍රපටය නිර්මාණය වූයේ සමාජය ඉදිරියට යාමේ දී මුහුණ පාන්නා වූ සංකීර්ණතා සමඟ සැරිසරන අපේ රටේ අනාගත පරපුරේ ගැටලුවලට විසඳුම් සෙවීමේ ගැඹුරු අභිලාෂයෙන් බවත් ඔවුන්ව දීප්තිමත් අනාගතයක් කරා යොමු කරවීම අප සැමගේ වගකීම බවත් වැඩිහිටියන් ලෙස අපි අපේ දරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව” විරුලිය සෙවණේ නිර්මාතෘ සහ සභාපති විශ්‍රාමික මේජර් රමණි බණ්ඩාර පැවසුවාය.

මෙම චිත්‍රපටය රංජිත් ජයසේකරගේ අධ්‍යක්ෂණය යටතේ ආචාර්ය ප්‍රියන්ත නවරත්න තිර රචනයෙන් සහ මේජර් විජේසුන්දර වේරගොඩගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වී ඇත. එසේම 2014 වසරේ ආරම්භ කරන ලද විරුලිය සෙවණ සංවිධානයේ අනුශාෂිකා ලෙස කටයුතු කරන දක්ෂ ව්‍යාපාරික නායිකාවක් වන රම්‍යා හෝල්ඩිංග්ස් ආයතනයේ සභාපතිනි රම්‍යා වීරකෝන් මහත්මියගේ සහයෝගය මෙම චිත්‍රපටය සාර්ථකත්වයට හේතු වීම විරුලිය සෙවණට මහත් ගෞරවයකි.

මෙම වාර්තාමය ළමා චිත්‍රපටය 2024 ඔක්තෝබර් 01, ලෝක ළමා දිනයදා දොරට වඩින අතර, චිත්‍රපටයෙන් ගෙනහැර දක්වන පණිවිඩය ළමා සහ වැඩිහිටි සැම අතර එකසේ ජනප්‍රිය වන බව සහතික කරමින්, පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා කරමින් youtube හරහා ද විකාශය වීමටද නියමිතය.


සක්නද ප්‍රසංගය ඔක්තෝබර් 05 දා

සෙත් රඟ නිකේතනය මඟින් හතරවන වරට පවත්වනු ලබන ‘සක්නද රංගන ප්‍රසංගය 2024’ ප්‍රසංගය ඔක්තෝබර් පස්වන දින සවස 3.00ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. රාජගිරිය කලපළුවාව සෙත් රඟ රංග නිකේතනය 2006 වර්ෂයේදී සිසුන් දෙදනකුගෙන් ආරම්භ වූ අතර අද එහි දෙසීයකට අධික සිසුන් පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT