ඊශ්‍රායලය සහ ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය අතර ඇවිළෙන දරුණු සටන වහාම නවත්වා සාමය සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට පසුබිම සකස් කිරීමට දින 21ක සටන් විරාමයක් කැඳවන ලෙස අමෙරිකාව ඇතුළු රටවල් 12ක් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා හවුල, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බ්‍රිතාන්‍යය සහ කටාර් රාජ්‍යය ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී බවත් වාර්තා වේ.
අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය හෝ ලෙබනනය මෙතෙක් එම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවය. කෙසේ වුවද අමෙරිකාව මේ වනවිට දෙරටේම රාජ්‍ය නායකයන් සමඟ සමීපව කටයුතු කරමින් සටන් විරාමයකට එකඟ කරගැනීමට උත්සාහ දරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.