Home » සැකකරුවන් තිදෙනා ලබන මස 10 දක්වා රිමාන්ඩ්
මන්නාරම් මහාධිකරණ විනිසුරුවරයාට අපහාස කිරීම

සැකකරුවන් තිදෙනා ලබන මස 10 දක්වා රිමාන්ඩ්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

දෙව්නි මහගමගේ

මන්නාරම් මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන අයුරින් පෝස්ටර් දැන්වීම් ඇලවූ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා ලබන මස 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26) නියෝග කළේය.

මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක සහ මඩපාත පදිංචි මනෝජ් මධුශංක යන අයයි. ඉකුත් අගෝස්තු 28 වැනි දින කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව අසල අලුත්කඩේ මහාධිකරණය ආසන්නයේ, පැලවත්ත, බත්තරමුල්ල, ගල්කිස්ස වැනි ජනාකීර්ණ ප්‍රදේශවල මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන අයුරින් පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහර දීම සම්බන්ධයෙන් අධි චෝදනාලත් සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව මන්නාරම මහාධිකරණය මගින් තීන්දු ලබාදීමට පෙර දින පෝස්ටර් අලවා ඇති අතර එම සැකකරුවන් ඔවුන්ගේ මිතුරන් ලවා මෙලෙස පෝස්ටර් දැන්වීම් අලවා ඇත.

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකතන හතරක්, ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අලවන ලද පෝස්ටර්වල ඡායාරූප ප්‍රධාන සැකකරුට යවා ඇති බවද කරුණු අනාවරණය වූ බවට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාබ්දික වෙල්ලප්පුදු හා නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ තම සේවාදායකයින් කළ වැරැද්ද පිළිගන්නා බවත් වැරැද්දේ බරපතළ බව තේරුම් ගෙන සිටීම නිසා විත්තිකරුවන් හට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුවන් ලබන මස 10 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT