විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් යළිත් වරක් පත්කළ අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් පත්කරනු ලැබීමෙන් අනතුරුව අරුණි විජේවර්ධන මහත්මිය මෙලෙස සිය ධුරයෙහි වැඩ භාර ගත්තාය.
මීට පෙර පසුගිය 2022 මැයි මස 20 වැනි දින සිට ඒ මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් සේවය කර තිබේ.
වෘත්තීය විදේශ සේවා නිලධාරිනියක වන විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වසර 36ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබෙන අතර, මේ කාලයේ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් විවිධ තනතුරු රැසක් හොබවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය බ්‍රිතාන්‍ය ෂෙවෙනිං විද්‍යාර්ථියකු වශයෙන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද, බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ද හිමි කර ගෙන ඇත.