Home » නුසුදුසු ආහාර හැදූ වෙළෙඳසල් හතරකට මුද්‍රා

නුසුදුසු ආහාර හැදූ වෙළෙඳසල් හතරකට මුද්‍රා

තවත් ස්ථාන පහකට නඩු

by mahesh
September 27, 2024 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි ඉකුත් දා සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනක් දින දහ හතරකට මුද්‍රා තබා ස්ථාන පහකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කෝසල මුතුකුමාරණ මහතා පැවසීය.

මීට අමතරව හෝටල්, බේකරි සහ ආපණශාලා දොළහකට එරෙහිව නිවේදන නිකුත් කළ අතර, දින දහහතරක් ඇතුළත එම ස්ථානවල වැරදි නිවැරදි කොට දැනුම් නොදුනහොත් ඊට එරෙහිව ද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.

පන්නිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඇස්. වන්නි ආරච්චි හා දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඩබ්ලිව්.කේ. ගයාන් ප්‍රසංග මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැටලීමේදී හෝටල් බේකරි ආපණශාලා 37ක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී පිසූ ආහාර සහ නොපිසූ ආහාර ශීතකරණවල එකට ගබඩා කර තිබීම, ආහාර වර්ග අවිධිමත් ලෙස ගබඩා කර තිබීම, අවිධිමත් ලෙස අපජලය බැහැර කිරීම, මුළුතැන්ගෙයි දූවිලි සහ මකුළුදැල් සහිත ස්ථානවල ආහාර ගබඩා කර තිබීම, ලේබල් රහිත ආහාර අලෙවිය සහ අපිරිසිදු පුද්ගලයින් ආහාර පිසීම සඳහා රැඳී සිටීම් හා වැසිකිළි කැසිකිළි අසල ආහාර පිසීම වැනි වැරදි අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. ඒ අනුව වැරදි නිවැරදි කර ගත හැකි ස්ථාන දොළහකට නිවේදන නිකුත් කළ අතර, දින දහ හතරක් ඇතුළත ඒවා නිවැරදි කර දන්වන ලෙසටද නියෝග කළේය.

මෙම වැඩසටහන මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කෝසල මතුකුමාරණ මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එන්.පී. කල්දේරා මහතාගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එස්. වන්නිආරච්චි සහ ගයාන් ප්‍රසංග යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, ඩී.ඇම්. තිලකරත්න, ආර්.ආර්. හෙට්ටිගේ, ඩී.ඇම්.පී.සී. රණසිංහ, ඩබ්ලිව්.ඩී.ඩී.පී. විජේසූරිය, එස්.එල්.එස්. සමරතුංග, එච්.එන්.ජී. මාධව ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT