Home » පසුගිය රජයේ සුපිරි වාහන අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගන්න

පසුගිය රජයේ සුපිරි වාහන අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගන්න

ජනපතිගෙන් උපදෙස්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය.

ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833ක් අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බවද මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදුන් බවද හෙතෙම පැවසීය.

ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කර සිටියේ ගාලුමුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලැබූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් එම පරිශ්‍රයේදී ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එසේම ජනතාවගේ බදු මුදල් මෙලෙස නාස්ති කිරීම කණගාටුවට කරුණක් බවත්, මේ සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු විසින් රට පාලනය කිරීමේදී මහජන මුදල් නාස්තියේ ප්‍රමාණය මේ ස්ථානයේ මෙසේ ප්‍රදර්ශනය කරන බවත්, ජනාධිපති මන්දිරය සතුව පවතින වාහන නැවතුම් ස්ථාන එම වාහන ගාල් කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ගාලුමුවදොර පරිශ්‍රය ඇතුළු තවත් ස්ථාන කිහිපයකම වාහන 107ක් ගාල් කර ඇති අතර, මේවා විවිධ අවස්ථාවලදී පසුගිය ආණ්ඩු විසින් විවිධ තනතුරු ඇති කරමින් තම හිතවතුන්ට ලබාදී තිබූ ඒවා බව ද ඔහු අවධාරණය කළේය.

මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත් වීමට අපහසු අවස්ථාවක පසුගිය වසර 76ක් පුරා පැවති ආණ්ඩු දිගින් දිගටම මහජන ධනය නාස්ති කර තිබීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

එසේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට ප්‍රමාණවත් ගිලන් රථ නොමැති, රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරී සිදු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති අවස්ථාවක රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් වාහන ගෙන්වා තම හිතවතුන්ට ලබාදී ඇති බව ද ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.

මහජනතාවගේ ධනය සුරක්ෂිත කිරීම වගකීමක් වන බවත්, අනිසි ලෙස භාවිත කළ වාහන සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකිරීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා, අදාළ වාහන ඉතා ඵලදායී ලෙස සහ ඉතා අත්‍යවශ්‍ය සේවාවන්වලට ලබාදීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විවිධ ආයතනවලින් ලබාගත් වාහන 59ක් ජනාධිපති කාර්යාලය හරහා තම හිතවතුන්ට ලබාදී ඇති බවත්, වාහන ආනයනය කිරීම තහනම් කළ කාලසීමාව තුළ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙන්වා ඇති බවත් අනාවරණය වී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT