Friday, May 2, 2025
Home » චීනය සැමදා ශ්‍රීලංකාවේ ඉතා විශ්වාසවන්ත මිතුරෙක්

චීනය සැමදා ශ්‍රීලංකාවේ ඉතා විශ්වාසවන්ත මිතුරෙක්

මහජන චීනය පිහිටුවීමේ 75 සංවත්සරය සමරමින් චීන තානාපති කියයි

by mahesh
September 27, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලාංකිකයන් මේ වනවිට නව යුගයකට එළැඹ තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ශෙන්හොන්ග් මහතා ප්‍රකාශ කරයි.

මහජන චීනය පිහිටුවීමේ 75 වැනි සැමරුම නිමිත්තෙන් කොළඹ දී පැවති සැමරුම් උත්සවය අමතමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ චීනය සැමදා ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරකු සහ ප්‍රයෝජනවත් සහකරුවකු වශයෙන් සිටින බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සමීප හා ගැඹුරු සහයෝගිතාව නැවත නැවතත් පෙන්නුම් කර තිබෙන බවත්ය. හැකියාවන්ගෙන් වඩාත් සන්නද්ධ වූ ශ්‍රී ලංකාව එහි ස්වෛරීත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ගෞරවනීය බව රැක ගනිමින් කලාපීය සහ ජාත්‍යන්තර තලයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට සමත්ව තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාර්ථක ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුබ පැතුම් එක්කරන බව සඳහන් කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ජනතාව දැන් නව යුගයකට එළැඹ සිටින්නේ ඔවුන්ගේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් බව ද චීනය අනෙකුත් මිතුරු රටවල් සහාය සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ උත්සාහවන්ත, බුද්ධිමත්, වික්‍රමාන්විත ශ්‍රී ලංකා ජනතාවට සියලු අවදානම් සහ අභියෝග පිටුදකිමින් වර්තමාන අර්බුදයෙන් පූර්ණ ලෙස මිදී ජාතික ආර්ථිකය යළි පණගන්වා සශ්‍රීකත්වය උදාකර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මෙහිදී අදහස් පළකරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදය පැවති සමයේ චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය වෙනුවෙන් තමා ස්තුතිවන්ත වන බවත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ මෙරට සාර්ථක ලෙස ව්‍යාපෘති රැසක් නිමකිරීම සම්බන්ධයෙන් සිහිපත් කරන බවත්ය.

මෙරට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා චීන මූල්‍ය ආයතන විසින් අඛණ්ඩව ලබාදෙන සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අතිශය කෘතඥ වන බව කී ඒ මහතා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගවලට අපි තවදුරටත් මුහුණදෙන අතරතුර චීනයේ සහෝදරත්වය සහාය සහ අඛණ්ඩ පාර්ශ්වකරුවකු වීම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද පැවසීය.

චීන සංචාරකයන්ගේ ආගමනය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර මේ වසරේ පළමු මාස 6 තුළ චීන සංචාරකයන් 77,000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන බව ද ශ්‍රී ලංකාව විසින් මෑතක දී හඳුන්වාදුන් නිදහස් වීසා බලපත්‍ර වැඩසටහන චීනය ද අයත් වන බව හෙතෙම කීවේය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චැන්ග්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT