Home » නයිමිරිස් මිල පහත වැටිලා වගාකරුවෝ අසරණයි

නයිමිරිස් මිල පහත වැටිලා වගාකරුවෝ අසරණයි

by mahesh
September 27, 2024 1:00 am 0 comment

මාතලේ දිස්ත්‍රික් සමූහ - ඒ.ඒ.එල්. ඩයස්

මාස ගණනක් පුරා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙහි නයිමිරිස් මිල ඉහළ අගයක පැවතියත් මේවනවිට එහි කිලෝවක තොග මිල රු.400 දක්වා පහත වැටී ඇති බැවින් ගොවීන්ට මහත් පාඩුවක් විඳීමට සිදුවී ඇත.

ගතවූ මාස කිහිපය තුළදී නයිමිරිස් කිලෝවක තොග මිල රුපියල් දහස ඉක්මවා තිබූ බැවින් ගොවීන් මෙම මිරිස් වගාව ඉතා විශාල වශයෙන් සිදුකිරීම නිසා මේවනවිට වෙළෙඳපොළට ලැබෙමින් පවතින නයිමිරිස් ප්‍රමාණයද අධික වීමෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. දිවයිනේ විවිධ පෙදෙස්වලින් නයිමිරිස් තොග දැනට දඹුල්ල වෙළෙඳපොළ වෙත දිනපතා ලැබෙන අතර මෙයින් වැඩි ප්‍රමාණයක් වවුනියාව පෙදෙසින් ලැබෙන බවද මොවුහු සඳහන් කරති. ආපනශාලා මෙන්ම හෝටල්වලද නයිමිරිස් භාවිතය පෙරට වඩා අධිකවී ඇති බැවින් නයිමිරිස් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින නමුත් මේවනවිට සුළු ගොවීන් පවා මෙම ස්ථාන වෙත අඩු මිලට නයිමිරිස් ලබාදෙන බැවින් එයද වෙළෙඳපොළේ නයිමිරිස් ඉල්ලුමට සෘජුව බලපා ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

තවද පෙරදි අක්කරයක ප්‍රමාණයේ නයිමිරිස් වගාවෙන් රුපියල් මිලියන දෙකක පමණ ආදායමක් ලැබුවත් පවතින තත්ත්වය යටතේ දැනට එය රුපියල් ලක්ෂ 5-6 අතර මිලකට සීමාවී ඇතැයි ගොවීහු සඳහන් කරති. එසේ නයිමිරිස් මිල අඩුවුවත් මෙම වගාව ලාභදායක බව ගොවීන්ගේ මතයවී ඇත. වෙනත් මිරිස් වර්ගවලට මෙන් නයිමිරිස් වගාව වෙනුවෙන් කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය නොවන බව පවසන ගොවීන් මෙම වගාවට මොවුන් යොමුවීම වර්ධනය වීමට එයද ප්‍රබල හේතුවක් බව කියා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT