Home » ගිනි ඇවි‍ෙළන ‍ෙලබනනය

ගිනි ඇවි‍ෙළන ‍ෙලබනනය

by damith
September 28, 2024 1:10 am 0 comment

රජිත බස්නායක

පසුගිය සතියේ ලෙබනනය, රටක් ලෙසින් ඉහළම ආකාරයෙන් මාධ්‍යයන් තුළ කතාබහට ලක් විය. ඒ රටේ සමෘද්ධිමත්භාවය පිළිබඳව හෝ ආර්ථික දියුණුවක් සම්බන්ධයෙන් නොවේ. කතාබහට ලක් වූ එකම කරුණ වූයේ ලෙබනනය තුළ සිටි හිස්බුල්ලා සාමාජිකයන්ගේ පේජර් පුපුරා යාමයි. ඔවුන්ගේ මෙන්ම ලෙබනන් ආරක්ෂක අංශවල ද මතය වූයේ එයට වගකිව යුතු එකම තැනැත්තා වන්නේ ඊශ්‍රායලය බවයි. එහෙත් ඊශ්‍රායලය මේ සඳහා ඔවුන්ගේ වචන වැය කරන්නට කාලය වෙන් කර නොතිබිණි.

පේජර් පුපුරුවා හැරීමෙන් පසු ලෙබනනය තුළම වෝකිටෝකි පිපිරී යෑමෙන් පෙරටත් වඩා හානිකර තත්ත්වයක් ඇති විය. කවුරුත් තමන් දෙසට ඇඟිල්ල දික් කළ ද නිහඬව සිටි ඊශ්‍රායලය ලෙබනනයට ඔවුන්ගේ සැකය තහවුරු කරනු ලැබුවේ ගුවන් ප්‍රහාර මාලාවක් සමඟිනි. පසුගිය සතියේ මෙන්ම මෙම සතියේ ද විදෙස් පුවත් සේවාවන් වැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ මෙම ප්‍රහාරය පිළිබඳවය.

ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර

ඊශ්‍රායලය, ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙර Hezbollah සංවිධානය විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කරන්නට විය. ඔවුන් සඳහන් කර සිටියේ රොකට් ප්‍රහාර 100 කට වැඩි ප්‍රමාණයක් තමන් විසින් උතුරු ඊශ්‍රායලයට එල්ල කරන්නට සමත් වූ බවයි. මේ ප්‍රහාරයත් සමඟින් එයට ප්‍රතිචාර ලෙසින් ඊශ්‍රායල ප්‍රහාරවලින් 37 දෙනෙක් පමණ මියගියහ. මේ අතර කුඩා දරුවන් මෙන්ම Hezbollah සංවිධානයේ ඉහළ පෙළේ සාමාජිකයන් ද විය. ඔවුන්ගේ ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයට ද හානි සිදුනොවූවා නොවේ. මෙම ප්‍රහාරයන් දියත්වීමට පෙර ඊශ්‍රායලයේ සයිරන් නළාහඬ නිකුත් වූ අතර උතුරුදිග ඊශ්‍රායලයේ හා දකුණුදිග ගෝලාන් කඳුකරයේ වාසය කරන්නන්ට අනතුරු ඇඟවීම් කරන ලදි.

ප්‍රහාරයන් මේ ආකාරයට හුවමාරු වන විට ඊශ්‍රායලය විසින් ලෙබනනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සමත් විය. මේ ප්‍රහාරයන්ගෙන් Hezbollah සාමාජිකයන් එක්රැස් වී සිටින ස්ථානයන් කෙසේ වෙතත් කුඩා දරුවන් 50 දෙනෙකුට වඩා මියයන්නට වූහ. ප්‍රහාරයන් ආරම්භයම බහුතරයක් දෙනාට සිහියට නඟන්නට සමත් වූයේ පලස්තීනයේ කුඩා දරුවන් මියයාමේ සිදුවීම් මාලාවයි. මේ ප්‍රහාරයන් සමඟ පසුගිය අඟහරුවාදා ලෙබනන් ජනතාව තම උන්හිටි තැන් අත්හැර දමා පලායන්නට වූහ. ගැටුම්වල උත්සන්න ආරම්භයක් සිදු වූයේ එසේය.

“මම ලෙබනනයේ ජනතාවට කියනවා අපේ යුද්ධය පවතින්නේ ඔබ සමඟ නොවේ. අපේ යුද්ධය හිස්බුල්ලා සමඟයි”.

බෙන්ජමින් නෙතන්යාහු ලෙබනන ජනතාව ආමන්ත්‍රණය කර පැවසුවේ එසේය. මුලින්ම ඊශ්‍රායලය විසින් ලෙබනන් ජනතාව වෙත එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දැනුම්දීම සිදුකරනු ලැබුවේ පසුගිය සඳුදා අලුයම් කාලයේදීය. ලෙබනන වැසියන්ට ඔවුන්ගේ දුරකතන වෙත එම කෙටි පණිවුඩ ලැබී තිබිණි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවීමත් සමඟ එම ප්‍රදේශවලින් ජනතාව ඉවත්ව ගිය අතර මේ නිසා මහාමාර්ගයන්හි දැඩි වාහන තදබදයක් ද ඇතිවිණි. ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනන ජනතාවට ලබා දුන් කෙටි පණිවුඩවලට අමතරව දුරකතන ඇමතුම් 80,000කට වඩා ලබා ගැනීමට උත්සාහ ගෙන ඇති බව සඳහන් කරනුයේ ලෙබනනයේ Ogero Telecom සමාගමයි.

මේ ප්‍රහාරයත් සමඟ ඉරානයෙන් ඊශ්‍රායලයට චෝදනාවන් නැඟිණි.

පුද්ගලයින් 700කට වඩා මරුට

බටහිර රටවල්, එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් විසින් ආරක්ෂා කරන සහාය දක්වන රටකට එරෙහිව Hezbollah සංවිධානයට තනිව සිටිය නොහැකිය යනුවෙන් ඉරාන ජනාධිපතිවරයා CNN වෙත ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය තම මතය එළිදක්වා තිබුණේ, රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එකඟ නොවීම, ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර නැවැත්වීමට ගොස් දේශසීමා ආසන්නයේ හමුදාවන් ඉවත් කර ගැනීමට බලකිරීම උදෙසා සැලසුම්සහගතව හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.

එහෙත් බොහෝ අය පෙන්වා දෙනු ලබන්නේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇති වුවහොත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවට Hezbollah සංවිධානය ප්‍රතිඥා දී ඇතැයි යන්නයි.

කොයිහැටි වෙතත් මෙම ගුවන් ප්‍රහාර මාලාවෙන් ලෙබනනයේ පුද්ගලයින් 700කට වඩා ප්‍රමාණයක් මියගොස් ඇති බවට සඳහන් කරන්නේ අල් ජසීරා පුවත් සේවයයි. එමෙන්ම තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ අවතැන් වු පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටිනා බවකි.

මේ අතර ඊශ්‍රායල ජනතාවට ද අනතුරු ඇඟවීමේ කෙටි පණිවුඩ ලැබී තිබිණි. සැප්තැම්බර් 19 දා ඊශ්‍රායල ජාතිකයිනට කෙටි පණිවුඩ මිලියන 5ක් පමණ ලැබී ඇති අතර ඊශ්‍රායල සයිබර් බලධාරීන් ප්‍රකාශ කරනු ලැබ සිටියේ ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් මෙම පණිවුඩ ලැබී ඇතැයි යන්නයි.

“ඔබේ දයාබරයන්ට සමුදෙන්න. නමුත් දුක්වන්න එපා. ඔබ නිරයේදී පැය කිහිපයකින් ඔවුන්ව වැලඳ ගනීවි” යනුවෙන් එම කෙටි පණිවුඩයන්හි සඳහන්ව තිබිණි.

මෙම ප්‍රහාරයන් අතරතුර සිදුවූ එක් වැදගත් සිදුවීමක් වූයේ ඊශ්‍රායලය විසින් ලෙබනනය සතුව පවතින ගුවන්විදුලි සංඛ්‍යාත අනවසරයෙන් තමන් සතු කර ගැනීමයි. ඒ අනුව හිස්බුල්ලා සංවිධානය යටතේ පවතින ප්‍රදේශ ආසන්න ස්ථානවල ගුවන්විදුලි මධ්‍යස්ථානයන්ගෙන් පටිගත කිරීම් පණිවුඩ පවා නිකුත් කරන්නට විය.

මොසාඩ් මූලස්ථානයට ප්‍රහාර

කවර අයුරින් වුවද ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කළ පසු ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රකාශ කරනු ලැබ සිටියේ ඉලක්ක 1600 කට ප්‍රහාරයන් එල්ල කළ බවයි. මේ සියල්ලටම ප්‍රතිචාරය ලෙසින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අමතක නොවන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානම්ව තිබිණි.

ඔවුන්ගේ ප්‍රයත්නයව පැවතියේ මොසාඩ් සංවිධානයේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමයි. මේ නිසා ඔවුහු මිසයිල එල්ල කිරීමට කටයුතු කළහ. ඔවුන් එසේ ප්‍රකාශ කළ ද ඊශ්‍රායලය සඳහන් කරනුයේ එකම එක මිසයිලයක් පමණක් මොසාඩ් මූලස්ථානය මූලික කර ගනිමින් පැමිණි බවත්, එයද විනාශ කිරීමට තමන් සමත් වූ බවයි. මේ සමඟම ඊශ්‍රායල් හමුදාව සිය මෙහෙයුම් තව තවත් කඩිනම් කරනා බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර එංගලන්තය විසින් ලෙබනනයේ සිටින තම ජාතිකයන්ට වහාම රටින් පිටවන ලෙස දැනුම් දුන්නේය. ඒ සමඟ ලෙබනනයෙන් පිටවන එංගලන්ත ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා සාමාජිකයන් 700ක පමණ දෙනකු ද පිටත් කර යවන්නට එංගලන්ත බලධාරීන් කටයුතු කර තිබිණි.

දින 21ක සටන් විරාමයක්

කොයිහැටි වෙතත් සටන් කවරාකාරයෙන් පැවතිය ද ඊශ්‍රායලය හා Hezbollah සටන්කාමීන් අතර දින 21ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලින් ඉල්ලීමක් කර තිබේ. ඊශ්‍රායලය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් වුවද CNN පුවත් සේවය සඳහන් කරන ආකාරයට, නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම සටන් විරාම යෝජනාව පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවය. එහෙත් ඔහු පසුව ප්‍රකාශ කර ඇත්තේ දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට තමා සූදානම් බවකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT