දින 21ක සටන් විරාමයක් වහාම කැඳවන ලෙස ජාත්‍යන්තර රටවල් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ලෙබනනය හා ඊශ්‍රායලය අඛණ්ඩව යුද වදිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව අසළ පිහිටි හයිෆා නුවරට ඊයේ උදෑසන හෙස්බුල්ලා සංවිධානයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද, ඉන් වැඩි ප්‍රමාණයක් අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් විනාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හෙස්බුල්ලා සංවිධානය දකුණු ලෙබනනයේ සිට මිසයිල ප්‍රහාර 10ක් එල්ල කළ බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් විනාශ කළ බවත් ඊශ්‍රායලය ඊයේ උදෑසන නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.
ගතවූ අවසන් විසිහතර පැයේදී දකුණු ලෙබනනය හා උතුරු ඊශ්‍රායලය අතර දේශසීමාව දෙපසට රොකට් සහ මිසයිල ප්‍රහාර දෙදහසකට අධික සංඛ්‍යාවක් හුවමාරු වී ඇති අතර, ඉන් වැඩි හානියක් දකුණු ලෙබනනයට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය සඳුදා සිට දකුණු ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඊයේ වන විට හෙස්බුල්ලා සාමාජිකයන් සහ සිවිල් වැසියන් 700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද වාර්තා වේ.