මෙරටට පැමිණෙන සංචාරකයන්ට online visa ඔන්ලයින් විසා ලබා ගැනීමට රජය දුන් පහසුකම පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු රජයට තම සංගම්වල ස්තුතිය පිරිනමන බව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සංගම් කීහිපයක් ඊයේ (27) සීගිරියේ දී පැවසූහ.
2024 ලෝක සංචාරක දින සැමරුම විදේශීය සංචාරකයන් රැසකගේ සහභාගිත්වයෙන් සීගිරිය පව්ව ආසන්නයේ දී ඊයේ (27) පැවැත්විණි.
මේ අවස්ථාවට එක් වූ ලංකා ජාතික සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ජානක දුනුසිංහ මහතා කියා සිටියේ සංචාරක දිනයට රාජ්‍ය අනුග්‍රහයක් නැතත් සංචාරක ක්ෂේත්‍රයේ සංවිධාන කිහිපයක් එක්ව මේ ජාතික උත්සවය සංචාරක ප්‍රවර්ධනය උදෙසා පවත්වන්න සැලසුම් සකස් කළ බවයි. මේ සැලසුම් සකස් කිරීමට හේතු පාදක වූයේ සංචාරක ක්ෂේත්‍රයේ බරපතළම ප්‍රශ්නයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය දුන් online visa පහසුකම බව ද හෙතෙම සඳහන් කළේය.
සංචාරක කර්මාන්තය තවදුරටත් වැඩිදියුණු කිරීමට ක්‍රියාත්මක විය යුතු බවත් දැනට සංචාරක ක්ෂේත්‍රයේ විදේශිකයන්ට පෙන්වන්නේ බංකොලොත් ශ්‍රී ලංකාවක් බවත් සංචාරක ක්ෂේත්‍රය සඳහා දියුණු වූ රටවල් ඉතා සංයමයෙන් සංචාරක කලාප ක්‍රියාත්මක කර තිබෙන බවද පෙන්වා දුන් ජානක දුරුසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා රජයේ කඩිනම් අවධානය තවදුරටත් යොමු විය යුතු බවයි.
සංගමයේ උපදේශක මනෝජ් මද්දගේ මහතා – බරපතළ ප්‍රශ්න රැසක් පසුගිය කාලයේ වීසා ලබා ගැනීමේදී සිදු වූ බව පැවසීය. නඩු තීන්දු කිහිපයක් ද ලැබුණු බවත් එහෙත් සංචාරක කර්මාන්තයට විශාල හානියක්ව තිබුණු online visa ලබාදීම රජයට ප්‍රශංසාව මෙන්ම තම සංගම්වල ස්තූතිය පිරිනමන බවද හෙතෙම සඳහන් කළේය.
සංචාරක දිනය සැමරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය හා රියැදුරු මාර්ග උපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය ඇතුළු විදේශීය සංචාරකයෝ රැසක් එක්ව සිටියහ.
විදේශීය සංචාරකයන් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන් දල්වා උඩරට පහත රට නර්තන කිහිපයක් ප්‍රදර්ශනය කර තිබුණි. ඊට අමතරව දේශීය ආහාර ඔවුන්ට අනුභව කිරීමට පහසුකම් සැපයීම මෙන්ම සංචාරක කර්මාන්තයේ උන්නතියට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි.
සංචාරකයන්ට ද මේ අත්දැකීම් ඉතා වටිනා බවත් තමන් ලංකාවට පැමිණි අවස්ථාවේ සිට මෙරට පුරවැසියන් ආගන්තුක සත්කාර ඉටු කරමින් ඉතාමත් හොඳ සේවාවක් තමන්ට දුන් බවත් සංචාරක දිනය සැමරීමට සහභාගි කරවා ගැනීම ප්‍රශංසාවට ලක් කරන බවත් පැමිණ සිටි සංචාරකයෝ පැවසූහ.