- තවත් 2ක් මරා පොලිසියට භාර වෙන්න ඉඳලා
උඩහමුල්ල දුම්රියපොළ පාරේ නිවෙසක පුද්ගලයකුට මන්නයකින් පහර දී ඝාතනය කළ බව පැවසෙන පුද්ගලයකු ඝාතනය සඳහා භාවිත කළ මන්නය ද සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි (36) හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි. මෙම පුද්ගලයා ඉකුත් (22) වැනිදා අලුයම උඩහමුල්ල දුම්රියපොළ පාර ප්‍රදේශයේ නිවෙසකට පැමිණ මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටි පුද්ගලයකුට මන්නා පිහියකින් පහර දී මෙසේ ඝාතනය කොට පලා ගොස් තිබුණි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ උඩහමුල්ල දුම්රියපොළ පාරේ පදිංචිව සිට් ගබඩාගේ දොන් දුමින්ද ජගත් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි. පසුව මේ පිළිබඳ ලද පැමිණිල්ලකට අනුව මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් විමර්ශනයක් සිදු කරන අතරතුරදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 4 නිලධාරීන් විසින් ද පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එහිදී ලද තොරතුරකට අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු මාදිවෙල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා භාවිත කළ අඩි 3ක් පමණ දිගැති මන්නය උඩහමුල්ල ප්‍රදේශයේ ජල බස්නා කානුවකට විසි කර තිබියදී සොයා ගත් බව පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර මහරගම සහ මට්ටක්කුලිය ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකක් සඳහා සම්බන්ධ බවට කරුණු අනාවරණය වූ බවත්, මොහුගේ ඝාතන ලැයිස්තුවේ තවත් පුද්ගලයන් දෙදෙනකු සිටින බවත්, ඔවුන් දෙදෙනා ද ඝාතනය කොට පසුව පොලිසියට භාර වීමට බලාපොරොත්තුවෙන් සිටි බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ. සැකකරු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අධීක්ෂණයේ යටතේ ස්ථානාධිපති සුමිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත ඒකක අංක 04 භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ (14530) සිසිර, (61108) දයාරත්න කා.පො.සැ (2673) කුමාරී ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.