Home » ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා නායකයා මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා නායකයා මරුට

by sachintha
September 30, 2024 1:59 am 0 comment

කිලෝ 900ක් බරැති බංකර් නාශක බෝම්බ 85ක් දමලා

සැඟවී සිටියේ මූලස්ථානයේ භූගත බංකරයක

ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරුට් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රුල්ලා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති දෙකකට ආසන්න කාලයක් ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනය කේන්ද්‍ර කරගත් හෙස්බුල්ලා සංවිධානයට දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, නස්රුල්ලා මියගොස් ඇත්තේ බීරුට් නුවර පිහිටි හෙස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මහල් 7කින් සමන්විත එම ගොඩනැඟිල්ලේ භූගත කුටියක සැඟවී සිටි බව කියන හෙස්බුල්ලා නායකයා ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදාවේ 69 වැනි බළකායට අයත් එෆ් – 151 ප්‍රහාරක ජෙට් යානා මගින් කිලෝ 900ක බරින් යුතු බංකර් නාශක බෝම්බ 85ක්ම හෙළා ඇති අතර, හෙස්බුල්ලා සංවිධාන මූලස්ථානය මුළුමනින්ම කුහරයක් බවට පත්වූ බව වාර්තා වේ. සිය නායකයාගේ මරණය එම සංවිධානය විසින් තහවුරු කරනු ලැබූ බවත් වාර්තා වේ.

හෙස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් එහි නායකයා ඇතුළු ඉහළ මට්ටමේ නායකයන් 20 දෙනකු පමණ මියගිය බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සිවිල් වැසියන් පදිංචි වී සිටි නේවාසික ගොඩනැඟිලි රැසකට මැදි කරමින් ඉදි කර තිබූ බව කියන හෙස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයට පමණක් නොව ඒ අවට ගොඩනැඟිලිවලට ද හානි සිදුවීමෙන් පුද්ගලයන් 91 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හසන් නස්රුල්ලා මරා දැමූ බවත්, ඔහු සමඟ හෙස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් මෙලොවින් තුරන් කළ බවත් ඊශ්‍රායල හමුදාවේ ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් නදේව් ෂොෂානි එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධාන නායකයා ගුවන් ප්‍රහාරයකට ගොදුරු වන විට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගි වෙමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හෙස්බුල්ලා නායකයා ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරය සිදු කර ඇත්තේ ඊට මොහොතකට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔහු එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතීමට පෙර සිය හමුදාවට හෙස්බුල්ලා නායකයා ඝාතනය කිරීමේ නියෝගය දුන් බවට ඊශ්‍රායල නිලධාරියකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

වසර 32ක් පුරා අඛණ්ඩව ෂියා නිකායට අයත් ඉරාන හිතවාදී හෙස්බුල්ලා සංවිධානයට නායකත්වය දුන් 64 හැවිරිදි නස්රුල්ලා එම සංවිධානයේ දේශපාලන නායකයා මෙන්ම ආධ්‍යාත්මික නායකයා ලෙසත් කටයුතු කළ අතර, ඊශ්‍රායලයේ ප්‍රබලතම සතුරකු බවට පත්ව සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත් හෙස්බුල්ලා නායකයාගේ මරණය පිළිබඳ ලෙබනනයේ බහුතර ජනතාව දැඩි සංවේගයට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT