-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය කියයි
ජාතික ජන බලවේගය මඟින් තනතුරු සඳහා පත් කළ නිලධාරීන් සම්බන්ධයෙන් වන වගකීම පක්ෂය මඟින් භාර ගන්නා බවත් වගකීම් පැහැර හැරීම හෝ වෙනත් සිද්ධියක් පිළිබඳ ඔවුන්ට චෝදනා එල්ල වන්නේ නම් ඊට එරෙහිව කිසිදු පැකිළීමකින් තොරව තීන්දු තීරණ ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
රාජ්‍ය සේවයේ මේ වන විට යම් යම් වෙනස්කම් සිදු කර තිබෙන බවත් ඉදිරියේදීත් අවශ්‍යතාව අනුව වෙනස්කම් සිදු කරන බවත් ඇය කීවාය.
ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය. ශ්‍රී දළදා මාලිගාවට ගිය අග්‍රාමාත්‍යවරිය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අනතුරුව දළදා සමිඳුන් වැඳපුදා ගත් අගමැතිනිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ ද කීවාය.
ජනපතිවරණයේදී ලබාදුන් ජයග්‍රහණය තවත් සහතික කරලා ජනතාව මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අපට ලබාදෙයි. ජනතාව විසින් පාර්ලිමේන්තුවට රට හදන්න පුළුවන් කණ්ඩායමක් එවයි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා. කැපවීම් කරන්න සූදානමින් තමයි අප මේක භාර ගත්තේ. ඒක අප කරනවා. මේ කාලය තුළ භාරගත් වගකීම් අප ඉටු කරනවා.
අපේ පාලන කාලය තුළ රජයේ නිලධාරියකු යම් චෝදනාවකට ඉලක්ක වුණොත් ඒ සම්බන්ධයෙන් කිසිදු පැකිළීමකින් තොරව ක්‍රියාත්මක වෙනවා. දැනටමත් අප වෙනස්කම් සිදුකර තිබෙනවා. ඉදිරියටත් වෙනස්කම් කරන්න සූදානම්. සමහර අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රාජ්‍ය සේවයට පිටින් ගේන්න බැහැ. ඉන්න අයත් එක්ක වැඩ කරන්න ඕනෑ. අප පත් කරන අයට අප වගකියනවා. චෝදනා ඔප්පු වුණොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා.
මම ජාතික පාසල්වල විදුහල්පතිවරු මුණගැසුණා. ජාතික ජන බලවේග ආණ්ඩුව අධ්‍යාපනයට විශාල ප්‍රමුඛතාවක් ලබා දෙනවා. අද අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා. අපගේ ප්රමුඛ කාර්ය මේ බිඳවැටී තිබෙන විශ්වාසය නැවත ඇති කිරීමයි. දරුවන් විශ්වාසයකින් යුතුව සතුටින් පාසල් යන්න ඕනෑ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මවුපියන්ට බරක් නොවෙන්න ඕනෑ. ගුරුවරුන්ටත් තමන්ගේ වෘත්තිය අභිමානවත්ව කරගෙන යෑමට පසුබිම තිබිය යුතුයි. ඒක කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස්. අබේකෝන් මහතා ද සහභාගි විය.
අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ – නිහාල් ජයවර්ධන
ඡායාරූප – බුද්ධික රොෂාන් සහ රුවන් මීගම්මන