Home » සාහසික ලෙස ඝාතනය කළ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකුගේ මළ සිරුර පීනගම වැසිකිළි වළක

සාහසික ලෙස ඝාතනය කළ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකුගේ මළ සිරුර පීනගම වැසිකිළි වළක

-සැකකරු ඔක්තෝම්බර් 3 දක්වා රිමාන්ඩ්

by sachintha
September 30, 2024 2:05 am 0 comment

පිහිඹියගොල්ලෑව පොලිස් වසමේ පීනගම ගම්මානයේ අතහැර දමා තිබූ වැසිකිළි වළක තිබී සාහසික ලෙස ඝාතනය කරන ලද විශ්‍රාමික යුද හමුදා නිලධාරියකුගේ මළ සිරුරක් පසුගිය 27 වැනිදා පිහිඹියගොල්ලෑව පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ පීනගම, කෑදෑව පදිංචිව සිටි එස්. කරුණාසේන නමැති 54 හැවිරිදි තිදරු පියෙකි. මියගිය පුද්ගලයාගේ බිරිය සහ දෙවැනි දරුවා තම වැඩිමහල් පුතුගේ කැකිරාව ප්‍රදේශයේ නිවෙසට ගොස් සිට ඇති අතර, මියගිය තැනැත්තා පසුගිය දින කිහිපයේ නිවෙසේ තනිව වාසය කර ඇත. පසුගිය 25 වැනිදා රාත්‍රියේ සිට මේ පුද්ගලයාගේ දුරකතනය ක්‍රියාවිරහිත වීමත් සමඟ ඔහුගේ වැඩිමහල් පුතු පියා සිටි නිවෙසට පැමිණ මේ පිළිබඳ සොයා බලා ඇත. කිසිදු තොරතුරක් නොමැතිවීමත් යාබද අතහැර දමා තිබූ වැසිකිළි වළ දෙසින් ආ දුඟඳක් නිසා එය පරික්ෂා කර බැලීමේදී තම පියා එහි ගැට ගසා දමා තිබෙනු දැක පිහිඹියගොල්ලෑව පොලිසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පරික්ෂා කර බැලීමේදී එය තහවුරුවීමත් සමඟ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂණවලින් පසුව මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා මධුභාණි ධර්මදාස මහත්මිය ඉදිරිපිටදී වැසිකිළි වළේ තිබූ මළසිරුර ගොඩ ගන්නා ලදි. මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසියට නියෝග කරනු ලැබුවාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පීනගම ගම්මානයේම පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු පිහිඹියගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා විසින් මේ ඝාතනය සිදු කර සිරුර රැගෙනවිත් වැසිකිළි වළට දැමූ බවට පාපොච්චාරණයක් සිදු කළ බව පිහිඹියගොල්ලෑව පොලිසිය පවසයි. සැකකරු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝම්බර් මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබුවාය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පිහිඹියගොල්ලෑව පොලිසිය සිදු කරයි.

එස්. ජී. උබේපාල

කැබිතිගොල්ලෑව සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT