Home » යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට දළදා මාලිගාවෙන් ආශීර්වාද

යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට දළදා මාලිගාවෙන් ආශීර්වාද

by sachintha
September 30, 2024 2:21 am 0 comment

ඔක්තෝබර් මස 10 වැනි දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පෙරේදා (28) පැවැත්විණි.

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවති මෙම ආශීර්වාද පින්කම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ධජයන් රැගත් යුද හමුදාපතිතුමන් ප්‍රමුඛ යුද හමුදා නිලධාරීන් සහ සෙබළුන් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළදා මාලිගාවේ උතුම් දළදා වහන්සේ වැඩසිටින ගන්ධ කුටිය වෙත ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව පැමිණියහ.

ආගමික වතාවත් මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කර රට ආරක්‍ෂා කිරීම උදෙසා කැපවූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිරි ගමනට ආශීර්වාද එක් කරමින් තේවාව භාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ධජයන්ට සෙත් පැතූහ.

මෙහිදී යුද හමුදාපතිතුමන් විසින් ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද පිළිගන්වනු ලැබීය.

අස්ගිරි පාර්ශ්වයේ, ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියෝ අනුශාසනාවක් සිදු කරමින් යුද හමුදාවේ 75 වසරක අභිමානවත් ඉතිහාසය සහ දේශයේ යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව ද පැසසුමට ලක් කළහ.

මෙම අවස්ථාවට යුද හමුදා මාණ්ඩලික ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT