ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 255 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයන් දෙසිය එකොළොස් දෙනකු (211) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හැට දෙනකු (60) ඇතුළු ආධුනික නාවිකයන් දෙසිය හැත්තෑ එක්දෙනකු (271) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර පෙරේදා (28) පූනෑව, ශ්‍රී ලංකා නාවික ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යෑම සිදුකෙරිණි.
ශ්‍රී ලංකා නාවික ශික්ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් රංග ද සොයිසාගේ ආරාධනයෙන් මෙම විසිර යෑමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, අධ්යක්ෂ ජනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් සහභාගි වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයන් වෙත කුසලාන ප්රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.
ඒ අනුව, 255 වැනි බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ජී.වී.ඩී.එච්. විජේරත්න විසින් ද සියලු විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි පී.එච්.එම්.ඩී.එන්. විජේරත්න විසින් ද දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ටී.එස්.පී. ද සිල්වා විසින් ද දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි කේ.වී.එන්. මදුහංසිනී විසින් සහ දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි යූ.ඩබ්.ජී.පී.ඒ. චන්ද්‍රරත්න විසින් හිමි කර ගන්නා ලද අතර, 255 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය ‘දුටුගැමුණු’ අංශය හිමි කර ගන්නා ලදි.
මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමැතූ අධ්යක්ෂ ජනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාසිංසන පිරිනැමීම සිදුකෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දශක තුනක් පුරා මෙරට පැවති යුධමය වාතාවරණය අවසන් වීමත් සමඟ වෘත්තීයමය නාවික හමුදාවක සුවිශේෂ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් එහි විශේෂ කාර්යභාර්යක් ඉටු කිරීම සඳහා විසිර යන ආධුනික නාවිකයන් හට මින් ඉදිරියට රාජකාරී පැවරෙන බවත් එවැනි ත්‍රස්තවාදී උවදුරක් බිහිවීමට ඉඩ නොතබා දේශය ආරක්ෂා කර ගැනීමටත් එමඟින් රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් වීම සඳහා වක්‍රව දායක වීමටත් කාර්යශූර්ය විනයගරුක නාවිකයකු ලෙස මවුබිමට විශිෂ්ට සේවයක් ලබා දීමට අධිෂ්ටාන කරගත යුතු බවත් පවසන ලදි.
එමෙන්ම, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, විශාල සාගර කලාපයක ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම, මත්ස්‍ය සම්පත ඇතුළු සියලු ජලජ සම්පත් ආරක්ෂා කිරීම, නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදා ගැනීමේ කලාපය තුළ අනතුරට පත් වන යාත්‍රා හා පුද්ගලයන් මුදා ගැනීම වැනි රාජකාරී ඉටු කිරීම වැනි සංකීර්ණ රාජකාරී නාවික හමුදාව වෙත පැවරී ඇති බවත් අනාගතයේදී විසිර යන ආධුනික නාවිකයන් වෙත පැවරෙන රාජකාරි නිසි ලෙස තමාගේ, තම පවුලේ සහ නාවික හමුදාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් අභිමානවත්ව ඉටු කිරීමට කැපවිය යුතු බවත් අවධාරණය කෙරිණි.
මෙම විසිර යෑමේ පෙළපාළියට උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ, උතුරු මැද නාවික විධානයේ, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික ශික්ෂා ආයතනයේ නිලධාරීන් හා නාවිකයන් මෙන්ම විසිර ගිය ආධුනික නාවිකයන්ගේ මවුපියෝ සහභාගි වී සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත