Home » ත්‍රිවිධ හමුදාවෙන් – පොලිසියෙන් ඉවත් වූ පිරිසක් අපරාධවල නිරත වෙනවා

ත්‍රිවිධ හමුදාවෙන් – පොලිසියෙන් ඉවත් වූ පිරිසක් අපරාධවල නිරත වෙනවා

-වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

by sachintha
September 30, 2024 2:26 am 0 comment

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියෙන් ඉවත් වූ 750ක පමණ පිරිසක් සමාජය තුළ විවිධ අපරාධවල නිරතව සිටින බවට තොරතුරු ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මල්වතු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවෙහි පැවසුවේය.

කලකට ඉහතදී සිදුකළ පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වූ බවත් මේ අතරින් වැඩි පිරිස යුද හමුදාවේ හිටපු සෙබළුන් බවත් ඒ මහතා කීය.

වැඩබලන පොලිස්පති ලෙස පත්වීම් ලද වීරසූරිය මහතා පෙරේදා (28) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත් ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ ද පැවසුවේය.

පොලිසිය දිගින් දිගටම මෙහෙයුම්වල නිරත වුණා. යුක්තිය මෙහෙයුමේදී සමස්ත දෙපාර්තමේන්තුවේම නිලධාරීන් ඒ අරමුණ වෙනුවෙන් යොදවූවා. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී පැවැති අඩුපාඩු අප නිරීක්ෂණය කළා. පොලිසියට අණ පනත්වලින් ලැබී තිබෙන බලතල අනුව ඉදිරියේදී මෙම මෙහෙයුම් නොනවත්වා ඉදිරියට ගෙන යනවා.

නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම, අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම පොලිස් ස්ථාන මඟින් නිරන්තරව සිදු කරනවා. වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ද මේ සඳහා යොමු කරමින් මීට වඩා වැඩි ධාරිතාවකින් ඉදිරියේදී මෙම මෙහෙයුම් සිදු කරනවා. පොලිසියේ නිලධාරි හිඟයක් පවතිනවා. මේ වන විට වෙනත් රාජකාරිවල යොදවා සිටි පිරිස් නැවත කැඳවා තිබෙනවා. මහජන සේවය නිසි ලෙස ඉටු කිරීමේ අවශ්‍යතාව මත පදනම්ව තමයි මේ කැඳවීම් කරන්නේ. විශේෂයෙන්ම අපරාධ වැළැක්වීමට මේ අය කටයුතු කරනවා.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන

ඡායාරූපය – රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT