දකුණු පළාතේ හොඳම ලංකා බැංකු ශාඛාව ලෙස සම්මාන ලබා තිබෙන දෙයියන්දර ලංකා බැංකු ශාඛාවට සේවය ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් හට එදිනෙදා ගනුදෙනු කටයුතුවලදී විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ. මීට මාස කිහිපයකට පෙර එනම් ජුනි මාසයේ දෙයියන්දර ප්‍රදේශයට ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දෙයියන්දර ලංකා බැංකු ශාඛාවේ මුදල් තැන්පත් කිරීමට යොදා ඇති CDMA යන්ත්‍රය අක්‍රිය වී මේ වන විට මාස තුනකට අධික කාලයක් ගතව ඇතැත් එය යථා තත්ත්වයට පත් කිරීමට අදාළ නිලධාරීන් කටයුතු නොකිරීම නිසා මුදල් තැන්පත්කරුවන්ට ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුව තිබේ.
කුරුඳු ඇතුළු මෙරට ද්‍රව්‍ය ඉහළ මිලකට ලබා ගන්නා බවට ප්‍රසිද්ධියක් උසුලන වෙළෙඳ ප්‍රජාවක් සිටින දෙයියන්දර නගරයේ දෛනිකව විශාල මුදල් සංසරණයක් සිදුවන බවත් බැංකු කටයුතු අවසන් වූ පසු සිදුවන ගණුදෙනුවලදී මුදල් රැගෙන යාමේ අවදානම හේතුවෙන් ඇතැම් අය CDMA යන්ත්‍රය හරහා මුදල් තැන්පත් කිරීම සිදු කරයි. තවද බැංකු ශාඛාවේ පාරිභෝගිකයන්ට මුදල් ගණුදෙනු කිරීම සඳහා මුදල් කවුන්ටර් 03ක් තිබුණත් මුදල් ගනුදෙනු කිරීමේදී නිතරම එක් කවුන්ටරයක් පමණක් භාවිත වීමත් නිසා ගනුදෙනුකරුවන්ට පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමත් හදිසි අවස්ථාවක් සඳහා ණය මුදලක් ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා කළමනාකරු හමුවීමට ගියත් ඔහුද තම අසුනේ නොසිටින බවට ගනුදෙනුකරුවෝ චෝදනා කරති.
බැංකු ශාඛාවේ සේවය සඳහා ප්‍රමාණවත් සේවකයන් පිරිසක් යොදවා සිටියදී පාරිභෝගිකයන් වැඩි අවස්ථාවලදී හෝ කවුන්ටර් තුනේම ගනුදෙනු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සියල්ල පසෙක දමා බැංකුවේ පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවට ගණුදෙනුකරුවෝ පවසති. බැංකු ශාඛාවට අවශ්‍ය සේවක පිරිස නොමැති නම් ඒ සඳහා අවශ්‍ය සේවක පිරිස ලබා ගැනීම කළමණාකරුගේ වගකීමකි. දකුණු පළාතේ හොඳම ලංකා බැංකු ශාඛාව ලෙස සම්මාන ලබා ඇති දෙයියන්දර ලංකා බැංකු ශාඛාව මෙවැනි තත්ත්වයකට පත්වී ඇත්නම් අනිත් බැංකු ශාඛාවන් ගැන කුමන කතාවක් ද යන්න ගනුදෙනුකරුවෝ ප්‍රශ්න කරති. දෙයියන්දර ලංකා බැංකු ශාඛාවේ මුදල් තැන්පතු කරන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම ඇතුළු බැංකු ශාඛාවට සේවය ලබා ගැනීමට පැමිණෙන ගණුදෙනුකරුවන් තව දුරටත් අපහසුතාවයට පත් නොකර අඩුපාඩු අවම කිරීමට කටයුතු කිරීම ලංකා බැංකුවේ ඉහළ බලධාරින්ගේ වගකීමක් බවට සිහිපත් කරමු.
ඌරුබොක්ක විශේෂ – ඒ.පී. දයාචන්ද්‍ර