Thursday, May 8, 2025
Home » වසර 15කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් ටෙස්ට් තරගාවලි ජයක්

වසර 15කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් ටෙස්ට් තරගාවලි ජයක්

-ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය තහවුරුයි

by sachintha
September 30, 2024 1:52 am 0 comment

සංචාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයකින් නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවදුරටත් තෙවැනි ස්ථානය තහවුරු කර ගත්හ. තවත් දින එකහමාරක කාලයක් තිබියදී ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීමත් සමඟ වසර 15කට පසු නවසීලන්තයට එරෙහි තරගාවලි ජයක් වාර්තා කිරීම විශේෂත්වයක් විය.

වසර 2009දී පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව 2-0ක ජයක් ලැබීමෙන් අනතුරුව දෙරට අතර පැවති තරගාවලි 6කදී ශ්‍රී ලංකා පිලට තරගාවලි ජයක් වාර්තා කිරීමට නොහැකි විය.

ඊයේ හතර වැනි දිනයේ තරගය ආරම්භ කරන විට නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාසිටි අතර, දිවා විවේකයෙන් අනතුරුව ලකුණු 360කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබාගත් අතර, දඟ පන්දුව ඉදිරියේ නවසීලන්ත කණ්ඩායම 88කට සීමා විය. ශ්‍රී ලංකාවේ පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්හ.

ඊයේ පස්වරු 1.07 වන තෙක් තරගය දිගටම ඇදගෙන යෑමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූයේ කමිඳු මෙන්ඩිස් උඩ පන්දු දෙකක් හා නිශාන් පීරිස් අතින් තවත් උඩ පන්දුවක් ගිලිහී යෑම හේතුවෙනි. මිචෙල් සැන්ටර් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූ අතර, අංක 7 පිතිකරු ග්ලේන් පිලිප්ස් ලකුණු 78ක් වාර්තා කළේය. මේ තරගයේදී ධනංජය ද සිල්වා ‘පළමු ස්ලිප්’ ස්ථානයේ සිට උඩ පන්දු පහක් රැක ගැනීමට සමත්වීම ද කැපී පෙනිණි.

ටෙස්ට් තරග දෙකේදීම නවසීලන්ත පිතිකරුවන් අමාරුවේ දමමින් කඩුලු 18ක් බිඳ හෙළූ ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් අතර, අවසන් තරගයේ වීරයා ලෙස නොදැවී ලකුණු 182ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සම්මානයට පාත්‍ර විය.

දඟ පන්දුවට තෝතැන්නක් වූ ගාලු තණතිල්ලේ පරාජයෙන් බේරීම සඳහා නවසීලන්ත පිතිකරුවෝ විශාල සටනක නිරත වූහ. මේ තරගයේ ටෙස්ට් වරම් දිනාගත් නිශාන් පීරිස් කඩුලු 9ක් බිඳ හෙළා ගැනීම ඔවුන්ට විශාල හිසරදයක් විය. ප්‍රභාත් හා නිශාන් අතර කඩුලු 9 බැගින් බෙදීගිය අතර, ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් බිඳ හෙළා ගනිද්දී වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුගේ නම ඉදිරියේ සටහන් වූයේ එක කඩුල්ලක් පමණි. මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවාගත් ශ්‍රී ලංකාවේ 7 වැනි පන්දු යවන්නා බවට නිශාන් පීරිස් පත් විය.

මෙතෙක් සහභාගි වූ පළමු ටෙස්ට් තරග 8කදී ලකුණු 50ට වැඩියෙන් ලබා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට නව ලෝක වාර්තාවක් කමිඳු මෙන්ඩිස් මේ තරගයේදී එක් කිරීමට සමත් වූවේය. එය වසර 99ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දැමීමක් වූ අතර, 1925දී ඔස්ට්‍රේලියාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 1000 පසු කොට තිබූ වාර්තාව කමිඳු මකා දැමුවේය. කමිඳු මෙන්ඩිස් සිය 13 වැනි ටෙස්ට් ඉනිමේදී පස්වැනි ටෙස්ට් ශතකය ලබා ලොව අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අඩුම ඉනිම ගණනකදී තබා තිබූ ශතක වාර්තාවක් ද සම කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 602/5 (ඕවර 163.4) (ඉනිම අත්හිටුවන ලදි) – කමිඳු මෙන්ඩිස් නොදැවී 182, දිනේෂ් චන්දිමාල් 116, කුසල් මෙන්ඩිස් නොදැවී 106, ඇන්ජලෝ මැතිව්ස් 88 (ග්ලෙන් පිලිප්ස් 141/3)

නවසීලන්ත පළමු ඉනිම – 88 (ඕවර 39.5) (ප්‍රභාත් ජයසූරිය 42/6, නිශාන් පීරිස් 33/3)

නවසීලන්ත දෙවැනි ඉනිම

ටොම් ලෙතම් ඇ.නිශ්ශංක ප.පීරිස් 0

ඩ්වෙන් කොන්වේ ඇ.චන්දිමාල් ප.ධනංජය 61

කේන් විලියම්සන් ඇ.(රමේෂ්) ප.පීරිස් 46

රචින් රවින්ද්‍ර ප.පීරිස් 12

ඩැරල් මිචෙල් ඇ.නිශ්ශංක ප.ජයසූරිය 1

ටොම් බ්ලන්ඩල් ක.මු.ක. ප.පීරිස් 60

ග්ලෙන් පිලිප්ස් ඇ.කරුණාරත්න ප.පීරිස් 78

මිචෙල් සැන්ට්නර් ස්ට.කුසල් ප.පීරිස් 67

ටිම් සවුති ප.ජයසූරිය 10

අජාස් පටෙල් ප.ජයසූරිය 22

විලියම් ඕ’රූක් නොදැවී 0

අතිරේක 3

එකතුව සියල්ලන් දැවී (ඕවර 81.4) 360

කඩුලු බිඳ වැටීම: 1-0, 2-97, 3-110, 4-113, 5-121, 6-216, 7-280, 8-291, 9-344, 10-360

පන්දු යැවීම: පීරිස් 33.4-4-170-6, ජයසූරිය 34-2-139-3, අසිත 5-1-14-0, මිලාන් 2-0-7-0, ධනංජය 7-0-28-1.

ප්‍රින්ස් ගුණසේකර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට…

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT