ළමා අපයෝජනයට හා අපචාරයන්ට මාධ්‍ය සඳහා වරදින් වැඩි කොටසක් පැවරේ. සමාජ වෙබ් අඩවි හරහා බෙදා හරින අසභ්‍ය දර්ශන තුළින් මෙන්ම නිල් චිත්‍රපට හරහා ළමා මනස දූෂණය වේ.
“අව්‍යාජත්වයේ, සුන්දරත්වයේ විශ්වමය සංකේතය ළමයාය.” ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි. රටක ජනගහනයෙන් අතිබහුතරය නියෝජනය කරනුයේ, ළමයින් සහ වැඩිහිටි පිරිසය. ඒ අනුව, ළමුන් හා වැඩිහිටියන් යන කොට්ඨාස දෙකම රටෙහි සම්පතකි. එහෙයින් ගෝලීය වශයෙන් එම දෙපාර්ශ්වය සඳහා ජාත්‍යන්තර දින වෙන් වී ඇත. ළමා අයිතිවාසිකම් සුරැකීම සහ දරුවන් සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දීම සියලුම මනුෂ්‍ය වර්ගයාගේ යුතුකම ලෙස සලකන ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය හෙවත් විශ්ව ළමා දිනය සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හි දී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි.
ලෝකයේ බොහෝ රටවල ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා විවිධ ප්‍රයත්නයන් ගෙන තිබුණ ද, තවමත් සෑම සමාජයකම නිර්ධන හා ධනපති යන බෙදීම කේන්ද්‍ර කොටගෙන මෙම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් පවතියි. නමුත්, එය සිදු නොවිය යුත්තකි. ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනය සඳහා ප්‍රවේශය, ආර්ථික මට්ටම, සෞඛ්‍ය පහසුකම්, නීතිය හා සමාජ සහාය යන සෑම ක්ෂේත්‍රයක් තුළදීම මෙම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා හඳුනා ගත හැකිය. එය ළමුන්ගේ ශාරීරික හා මානසික සංවර්ධනයට ද බාධා ඇතිකරයි.
එමෙන්ම ළමා අයිතිවාසිකම් තුළ තිබෙන පරස්පරතාව ළමා අපචාර, ළමා අපයෝජන හා ළමා මරණවලට ද හේතු වී ඇත. වර්තමානයේදී ඉතාමත් බරපතළ අපයෝජනය බවට පත්ව ඇත්තේ ළමා ලිංගික අපයෝජනයයි. ළමා ලිංගික අපයෝජන යනු සමාජයේ පවුල, පාසල, දරුවන් රැකබලාගන්නා ස්ථාන යනාදී ඕනෑම පාර්ශ්වයන්ගෙන් සිදුවන්නකි. එවන් අපයෝජනයන්ට දරුවන් ලක්වීම තුළ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතය, වෙළෙඳාම, සොරකම, මිනීමැරීම වැනි අපචාර සිදු කිරීමට පෙළඹේ. මෙම සියලු ගැටලුකාරී තත්ත්වයන්ට බලපානුයේ, වැඩිහිටියන් විසින් දරුවන්ට සිදු කරන කායික මානසික හා ලිංගික හිංසනයත්, ඔවුන්ගේ නොසැලකිලිමත්කමත් යන කාරණාවන්ය.
ළමා අපයෝජනයට හා අපචාරයන්ට මාධ්‍ය සඳහා වරදින් වැඩි කොටසක් පැවරේ. සමාජ වෙබ් අඩවි හරහා බෙදා හරින අසභ්‍ය දර්ශන තුළින් මෙන්ම නිල් චිත්‍රපට හරහා ළමා මනස දූෂණය වේ. තවත් ආකාරයකින් ළමුන් තුළ ආක්‍රමණශීලී චර්යාවන් ඇති කිරීමට මාධ්‍ය අන්තර්ගතයන් ඉවහල් වේ. මාධ්‍ය අවභාවිතය තුළින් ළමුන් හුදකලාභාවයට පත්වන අතර ඔවුන් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවධානමක් ද සමාජය තුළ පවතියි. මෙම තත්ත්වය වැළැක්වීමට නම් රාජ්‍ය මැදිහත්වීමෙන් මාධ්‍ය භාවිතය සඳහා පවතින නීතිමය තත්ත්වයන් වෙනස් කළ යුතුය.
පාසල් අධ්‍යාපනය තුළදී සමතුලිත ප්‍රවේශයක් පවත්වාගෙන යෑම තුළින් ළමුන් සම්බන්ධව පවතින ගැටලු ගණනාවක් විසඳාගත හැකිය. න්‍යායාත්මක කරුණු කාරණා පමණක් නොව, ප්‍රායෝගිකව සමාජය තුළ ක්‍රියා කරන ආකාරය ඉගැන්වීම සිදු කළ යුතුය. ඒ අනුව ළමුන් සමාජයට පිවිසෙන විට, අපරාධ පිළිබඳ යම් කියවීමක් හා ලිංගිකත්වය පිළිබඳ යම් කියවීමක් දරුවා තුළ තිබීම වැදගත් වේ.
එහෙයින්, මවුපියන්, ගුරුභවතුන් හා සමාජයේ අනෙකුත් වැඩිහිටි පරම්පරාව විසින් ළමුන් හට ශාරීරික හා මානසික සහයෝගිතාව, ආදරය හා දිරිගැන්වීම සිදුකොට මෙරට සමස්ත දරු පරපුර රැක බලා ගත යුතුය. සෑම පවුල් ඒකකයකම මවුපියන්, දරුවන් හට විවෘත මනසකින් ලෝකය දෙස බැලීමට ඉඩකඩ සලසා දීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය සංවර්ධනය වේ. දරුවා අධ්‍යාපනික සහ තාක්ෂණික වශයෙන් පමණක් පරිපූර්ණ තැනැත්තකු වන්නේ නැත. මානුෂීය ගුණධර්ම ඔවුන් වෙත හුරුකරවාලීම මවුපියන් සතු වගකීමකි. එහිදී, දහම් පාසල් අධ්‍යාපනය ළමා මනස සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය වේ. එසේනම් ළමුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ හා හැසිරීම් සංවර්ධනය කිරීමේ කේන්ද්‍රයම ඒකක වන්නේ පවුල් සංස්ථාවයි. දරුවන්ගේ හැඟීම්, දැනීම් හුවමාරු කරගත හැකි පවුල් පරිසරයක් දරුවාට නිර්මාණය කර දීම මෙහිදී ඉතා වැදගත් වේ.
2024 ලෝක ළමා දිනයේ තේමාව “In clusion For Every Child” “සෑම දරුවෙක් සඳහාම ඇතුළත් කිරීම” යන්නයි. එතුළ ගැබ් වී ඇත්තේ දරුවන්ගේ පන්තිය, ශාරීරික දුර්වලතා, පසුබිම, හැකියාවන් හා තත්ත්වයන් ආදී කිසිවක් නොසලකා සියලුම දරුවන් අගය කරන්නා වූ සමාජයක් නිර්මාණය කිරීමේ වැදගත්කමයි. එහිදී සෑම දරුවෙකුගේම අධ්‍යාපනය, සෞඛ්‍ය අයිතිය, සමාජ සහභාගිත්වය සහ නිර්මාණශීලී අයිතිය යන සියලු ප්‍රවේශයන් පිළිබඳ අවධාරණය කෙරේ. ප්‍රජා ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සහභාගිත්වය සඳහා දරුවන්ගේ සක්‍රීයත්වය බලගැන්වීමක් ද එතුළ අන්තර්ගත වේ. ඒ අනුව, මෙවර ලෝක ළමා දිනයේ “සෑම දරුවෙක් සඳහාම ඇතුළත් කිරීම” යන තේමාව තුළින් සෑම දරුවෙකු හටම වටිනාකමක් සහයෝගයක් හා බලගැන්වීමක් සහතික වීම සිදු කෙරේ. එම අරමුණු සාක්ෂාත් කරගනු වස්, වර්තමාන රජය යටතේ හෝ පවතින ක්‍රමවේදයන් වෙනස් කොට අනාගතය භාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි මල්කැකුළුවල ආරක්‍ෂාව තහවුරු කිරීම නියත වශයෙන්ම කළ යුත්තකි.
රන්දි ලියනගේ
ඡායාරූප – ශාන් රූපස්සර