Home » ගාල්කර ඇත්තේ හිටපු ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලයට දුන් වාහනයි

ගාල්කර ඇත්තේ හිටපු ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලයට දුන් වාහනයි

by sachintha
October 1, 2024 12:13 am 0 comment

පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත ගාල් කර ඇති වාහන හිටපු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා ලබා දී තිබූ ඒවා බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පවසයි. එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබා දී තිබූ ඒවා නොවන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ. මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් පළ වන විවිධ මත පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථවාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර ඇත. මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහනයි. එසේම එම රථවාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ, ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන සංඛ්‍යාවක් ගාල් කිරීමට ඉඩකඩ නොමැති නිසා වන අතර කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බව ද ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති උපදෙස් පරිදි මෙම රථවාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට මේ වන විට කටයුතු සකස් කරමින් තිබෙන බව ද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි. එසේම විනිවිද බව හා නිරවද්‍යතාවය ආරක්ෂා කිරීම උදෙසා එලෙස භාරදෙන ලද රථවාහනවල සම්පූර්ණ ලැයිස්තුවක්ද මේ වන විට නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළුව අතිරේක ලේකම්වරු පස් දෙනකුට, ජ්‍යෙෂ්ඨ උපදේශකවරු පස් දෙනකුට, උපදේශකවරු හතර දෙනකුට, උපදේශකවරු 9 දෙනකුට, අධ්‍යක්ෂ ජනරාල්වරු අට දෙනකුට, අධ්‍යක්ෂවරු 26 දෙනකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 38 දෙනකුට ඇතුළුව 107 දෙනකුට වාහන ලබාදී ඇතැයි එම ලේඛනයේ දැක්වේ.

එම නාම ලේඛනය මෙසේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු වන සරත් කුමාර, අසේල රුවන් වීරකෝන්, දීපානි කුමාරජීව, ආර්.එම්.සී.එම්. හේරත්, ජ්‍යෙෂ්ඨ උපදේශකවරු වන අකිල විරාජ් කාරියවසම්, ආර්.එච්.එස්. සමරතුංග, සුනන්ද මද්දුමබණ්ඩාර, ප්‍රියානි විජේසේකර, වඩිවේල් සුරේෂ්, උපදේශකවරු වන බී.එම්.එස්. බලගොඩ, එම්.කේ.බී.ඒ.ජේ. තිලකරත්න, ආර්. පාස්කරලිංගම්, සමන් අතාවුදහෙට්ටි, ආචාර්ය ආනන්ද මලවතන්ත්‍රි, මහාචාර්ය ආශු මාරසිංහ, රෝසි සේනානායක, ඒ.ආර්. විදානගමගේ, ප්‍රධාන සම්බන්ධීකරණ පී. හැරිසන්, අධ්‍යක්ෂක ජනරාල්වරුන් වන ධනුෂ්ක රාමනායක, සුගීෂ්වර බණ්ඩාර, තුසිත හල්ලොළුව, එස්.ඒ.බී. හේරත්, එස්.පී. ප්‍රසන්න ශාමල් සෙනරත්, සමන් රත්නප්‍රිය, රංජිත් කීර්ති තෙන්නකෝන්, අසංග ගුණවංශ, ජනාධිපති පුද්ගලික ලේකම්, එස්.ඩී.එම්. පෙරේරා, ඔම්බුඩ්ස්මන් පී.ජේ.කේ.එස්. ඩබ්ලිව්. වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් කේ.පී. දයාරත්න, අධ්‍යක්ෂවරු වන තනූජ් තිලකරත්න, ඉසුරු හේරත්, මනෝජ් රංග, ටී.එච්.එස්.එන්. ජීවානන්ද, වී.එස්.ආර්. කොඩිතුවක්කු, එච්.අචිනි හේරත්, ඩී.එම්.පියසේන, වරුණ රාජපක්ෂ, එම්.එම්.පුෂ්පකුමාර, කේ.ජී.එස්. මධුසංඛ, ඒ.කේ.ඒ. රන්දුල, තීක්ෂණ අබේවර්ධන, වයි.ආර්.එච්. විදර්ශන බණ්ඩාර, ඒ. ඒ. එස්.පී. ශ්‍රියානන්ද, ටී.එම්.ජී.එන්.කේ. මඩුගල්ල, බී.කේ සුගත් කුමාර, එල්. අශෝක් ලාල් සිගේරා, නලින් සමරකෝන්, ආර්.පී ප්‍රියන්ත කුමාර, තරිඳු කල්දේරා, ශානුක කරුණාරත්න, මීෂා ගුණවර්ධන, ඩබ්ලිව්. එල්. ප්‍රදීප් සුරංග, එච්.එම්.යූ. කුමාරතුංග, ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර, සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරුන් වන සජාන සූරියආරච්චි, ඩබ්ලිව්. ඩී. පැතුම් පතිරණ, පී.එස්. ලක්මාල්, ජනාධිපති පුද්ගලික ලේකම් පාලිත වික්‍රමගේ, සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සුනිල් රම්‍යවංශ මාගම්මන, ජී.කේ.එල්.එස් රාජදාස, පී.ඩබ්ලිව්. වැලිකල, එන්.කේ.ජී. රාජපක්ෂ, ඩබ්ලිව්.සී.ඒ. ප්‍රනාන්දු, සුජිත් අකරවත්ත, සුනිල් පද්මසිරි, ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, විමලවීර දිසානායක, මිලාන් ජයතිලක, නිමල් පියතිස්ස, උදයන කිරිඳිගොඩ, ජගත් ප්‍රියංකර, කෝකිලා ගුණවර්ධන, මංජුලා දිසානායක, එම්. රාමේෂ්වරම්, සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ, චින්තක මායාදුන්න, ප්‍රියංකර ජයරත්න, ගුණතිලක රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, ඩයනා ගමගේ, ප්‍රදීප් උඳුගොඩ, එස්.එම්. චන්ද්‍රසේන, මදුර විතානගේ, එස්.එම්.එම්. මුෂාරෆ්, මේජර් සුදර්ශන දෙණිපිටිය, සම්පත් අතුකෝරල, වීරසේන ගමගේ, මුදිතා ප්‍රසන්ති ද සොයිසා, රංජිත් බණ්ඩාර, උදය ශාන්ත ගුණසේකර, එස්.බී. දිසානායක, අසංක නවරත්න, ගයාෂාන් නවනන්දන, ගාමිණි ලොකුගේ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සීතා අරඹේපොළ, කපිල අතුකෝරළ, විජිත බේරුගොඩ, ජයන්ත කැටගොඩ, අජිත් රාජපක්ෂ, එස්.සී. මුතුකුමාරණ, සහන් ප්‍රදීප් විතාන යන අයට වාහන ලබාදී තිබේ.

උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT