Sunday, May 11, 2025
Home » හිටපු ප්‍රා. සභා සභාපති-PC තිහාරියේදී ගුටි ඇනගෙන

හිටපු ප්‍රා. සභා සභාපති-PC තිහාරියේදී ගුටි ඇනගෙන

-ඩබලම වතුපිටිවල රෝහලේ

by sachintha
October 1, 2024 12:16 am 0 comment

රිය අනතුරක් මුල්කරගෙන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් රූපසිංහ මහතා සහ ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල් යසිත් ශානක මහතා අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් අනතුරුව දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත්ව ඇත. මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ පසුගිය 28 වැනිදා රාත්‍රි කාලයේ දී තිහාරියේ දී බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් යසිත් ශානක මහතා රාජකාරි විවේකයෙන් පසු නිවසට ගොස් සිටිය දී රාත්‍රී කාලයේ යතුරුපැදියක නැ‍ඟී නිට්ටඹුව නගරය වෙත ගමන් කරමින් සිට ඇත්තේ කිරිපිටි පැකට්ටුවක් මිල දී ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ යන අතර මෙම නිලධාරියා ගමන් ගත් යතුරුපැදිය හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් රූපසිංහ මහතා ගමන් කරමින් තිබුණු යතුරුපැදිය තිහාරිය වාරණ පාරේ හිජ්රා මාවත හංදිය අසල දී හුවමාරු වන අතරතුර යතුරුපැදිවල පැති කණ්ණාඩි දෙක එකිනෙක වැදී තිබේ. නීල් රූපසිංහ මහතා ගමන් කරමින් තිබුණු යතුරුපැදියේ පැති කණ්ණාඩියට මෙහි දී හානි සිදුව තිබේ. මෙම රිය අනතුර මුල්කරගෙන දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවී ඇත. එහිදී කොස්තාපල් යසිත් ශානක මහතා සිය පොලිස් හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියෙක් බව හඳුන්වා දෙමින් ගැටුම සමථයකට පත්කර ගැනීමට උත්සාහ දරා තිබේ. එය ගොඩින් විසඳා ගැනීමට නොහැකිව දෙදෙනාම වීරඟුල පොලිස් ස්ථානයට යාමට තීරණය කර ඇත. ඒ අනුව දෙදෙනා වීරඟුල පොලිස් ස්ථානයට යමින් සිටිය දී නැවතත් බහින්බස් වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් දෙදෙනාම පොලිසියට පැමිණිලි කරමින් වතුපිටිවල රෝහලට ඇතුළත්වී ඇත. මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව නිට්ටඹුව පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT