Home » සෞඛ්‍ය ලේකම්වරයා බේරුවල රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක

සෞඛ්‍ය ලේකම්වරයා බේරුවල රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක

by yasara
October 1, 2024 11:02 am 0 comment

මෙරට මධ්‍යම රජය යටතේ සහ පළාත් සභා යටතේ පාලනයවන රජයේ රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු සොයා බලා කඩිනමින් එම අඩුපාඩු නිරාකරණය කර, එම රෝහල් මගින් විධිමත්, කාර්යක්ෂම සහ ඉහළ ගුණාත්මකභාවයක් සහිත රෝගී සත්කාර සේවාවන් ක්‍රියාත්මක කර, මෙරට ජනතාවට  ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

එම වැඩපිළිවෙලට අනුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (30) කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල, බේරුවල මුලික රෝහල, කටුගහහේන ප්‍රාදේශීය රෝහල, නෑබඩ ප්‍රාදේශීය රෝහල, දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල යන රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් සහ එම රෝහල්වල  අවශ්‍යතාවයන් නිරීක්ෂණයට ලක්කරන ලදි.

මෙහිදී බේරුවල මුලික රෝහලේ නව වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ ඉල්ලීම පරිදි එම රෝහල සෞඛ්‍ය ලේකම්තුමාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය. දිසා රෝහලක තත්ත්වයේ සිට මූලික රෝහලක් බවට පත් කොට වසර නවයකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද රෝහලේ මූලික පහසුකම් වැඩිදියුණු නොවීම සම්බන්ධයෙන් වෛද්‍ය අධිකාරීවරයා සිදුකරන ලද මූලික අධ්‍යයනයකින් පසු ඒ පිළිබදව සෞඛ්‍ය ලේකම්තුමා දැනුවත් කිරිමට කටයුතු කර තිබුණි.

දැනට අබලන් තත්වයේ පවතින සියලු ගොඩනැගිලි මාස දෙකක් ඇතුළත වහා ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය ලේකම්තුමා විසින් නිලධාරීන්ට ලබාදෙන ලද අතර, දැනට ඉදිකිරීම් නතරව පවතින නව මහල් වාට්ටු සංකීර්ණයේ පළමු මහල කඩනමින් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව කටයුතු කරන ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) උපදෙස් ලබාදෙන ලදි.

දැනට අළුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින වාට්ටුව සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කිරිමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද, බාහිර රෝගී අංශයත් සායන මධ්‍යස්ථානයක් රෝහල ඉදිරිපස ස්ථාපිත කිරිමට ද ඒ සදහා අවශ්‍ය වන සියළු අරමුදල් වෙන් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළ අතර, ඊට අදාල ඇස්තමේන්තු සතියක් ඇතුලත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ද මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.  රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඉතා කෙටිකාලයක් තුල ලබාදීමට පියවර ගන්නා බව ද පැවසීය.

රෝහල කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට ප්‍රදේශවාසීන්ට උපරිම වෛද්‍ය සේවා ලබාගත හැකි රෝහලක් බවට පරිවර්තනය කිරීමටත්, ගෙවන වාට්ටු සංකීර්ණ හා සංචාරක ප්‍රවර්ධන වාට්ටු සංකීර්ණ ආරම්භ කිරීමටත් කටයුතු කරන ලෙස මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.

වසර නමයකට ආසන්න  කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී කැලෑවෙන් යටව පැවතී බේරුවල රෝහල කළුතර දිස්ත්‍රිකයේ ප්‍රධාන මූලික රෝහලක් ලෙස ඉතා කඩිනමින් සංවර්ධනය කොට ප්‍රදේශවාසීන්ට  ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව බේරුවල රෝහලේ නව වෛද්‍ය අධිකාරි  විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට නි‌යෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්.එම්.එන්. දිනිප්‍රිය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ මධුභාෂිනී කරුණාරත්න මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT