පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වාහන
රුපියල් ලක්ෂ 55ක් වටිනා වැගන් ආර් වර්ගයේ වාහනයක් කුලී පදනම මත ලබා ගනිමින් මාස හයක කාලයක් මුළුල්ලේ ගිවිස ගත් මාසික කුලියත් වාහනයත් ආපසු හිමිකරුට නොදී, පොලිසියට සහ අධිකරණයට කට්ටි පනිමින් සිටි විවෘත වරෙන්තු හතරක් සහිත සැකකරුවකු මොරටුව පොලිසියේ විශේෂ විමර්ශන කාර්යාංශයට ලද පෞද්ගලික තොරතුරක් මත කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉකුත් 28 වැනිදා කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් කුලී පදනම මත වාහනයක් ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් මෙම පළමු සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව මෙම වාහන ජාවාරමට සම්බන්ධ ඔහුගේ සහායකයා ද ඉතා සූක්ෂ්මව කිරිබත්ගොඩ නගරයට ගෙන්වා ගත් පොලිසිය, ඔහු ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා පැමිණි කුලී පදනම මත ලබාගෙන තිබූ සුඛෝපභෝගී අන්සතු වාහන දෙක ද පොලිස් භාරයට ගෙන තිබේ. නිවාස ඉදිකිරීම, ඉඩම් මිලට ගැනීම ආදී ව්‍යාපාරවල නිරත වන බව අඟවමින් දිවයිනේ විවිධ ස්ථානවල කාර්යාල පවත්වාගෙන ගොස් ඇති මෙම සැකකරු සිදුකර ඇති කූට වංචාවන් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු තුනක් ද, කොළඹ අලුත්කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයේ එක් නඩුවක් ද පවතින අතර තමා අධිකරණයට සහ පොලිසියට කට්ටි පනිමින් සැඟව සිටින බව පොලිස් අත්අඩංගුවට පත් සැකකරු ප්‍රකාශ කර ඇත. දෙවන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, ඉහත සඳහන් කළ මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් ලක්ෂ පනස්පහක් වටිනා වැගන් ආර් වර්ගයේ වාහනය මෙම පුද්ගලයා විසින් මාසික කුලී පදනම මත රැගෙන විත් කූට ලේඛන සකසා පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට රුපියල් ලක්ෂ 44කට විකුණා තිබියදී සැකකරු ලබාදුන් තොරතුරු ඔස්සේ යමින් පන්නල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත. එම කූට ලේඛන සෑදූ පුද්ගලයා මේ වනවිට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව ද සැකකරු පොලිසියට පවසා තිබේ.
සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිසිය, ඔවුන් නිවාස ඉදිකිරීම් සහ ඉඩම් මිලදී ගැනීමේ ආයතනයක් පවත්වාගෙන යමින් සිදුකළ මුදල් වංචා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගෙන ඇත. මොරටුව විශේෂ විමර්ශන කාර්යාංශයේ තොරතුරු අනුව ඉහත සඳහන් පළමු සැකකරු මීට පෙර ද මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක් වටිනා හොන්ඩා විස්ල් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් කුලී පදනම මත රැගෙන ගොස් විශ්වාසය කඩකරමින් වාහනය හිමිකරුට නැවත ලබා නොදී කූට ලේඛන සකසා මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී වාහනය පමණක් පොලිසිය සොයාගෙන තිබිණි. සැකකරුවන් දෙදෙනා වාහන තුනක් ද සමඟ පෙරේදා (29) මහර අංක 1 අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි. කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ මූලික උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි, පො.සැ. (2725) සිසිර, පොලිස් කොස්තාපල්වරුන් වන (82436) ලක්මාල්, (79777) පත්මසිරි, (9087) සේනාධීර, (93652) නන්දසිරි, (20689) සුගන්ධ, (99917) යොහාන් යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදුකළහ.
කැලණිය – කේ.එස්. හැන්නදි