Saturday, May 10, 2025
Home » ආයෙත් තියමුද ශිෂ්‍යත්වේ

ආයෙත් තියමුද ශිෂ්‍යත්වේ

by sachintha
October 2, 2024 1:30 am 0 comment

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කාන්දු වීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයෙකු දැන් පසු වන්නේ අත්අඩංගුවේය. තමන්ගේ රැකියාවේ මූලික පරමාර්ථ පිළිබඳව හෝ වගවීමක් නොමැතිව මෙවැනි ගණයේ පුද්ගලයෝ, සමාජයක්ම එක් මොහොතකින් බොර කරන්නෝය.

දරුවන්ට නිදහසේ සිතන්නට, ප්‍රකාශ කරන්නට සහ තමන්ගේ ජීවිත නිවැරදි මඟට ගෙන යන්නට හැකියාව ලබාදීම මනුෂ්‍ය සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොටසකි. යනුවෙන් මහත්මා ගාන්ධි ප්‍රකාශ කළේය. මේ ආකාරයේ චින්තන පරිචයක් ළමයාට ලබා දිය හැක්කේ ඔහුගේ ක්‍රියා පිළිවෙත සඳහා සමාජය මඟින් විශ්වාසයක් ජනිත කරන විටය. එම විශ්වාසය යනු විභාගය වැනි අතිසීරියස් තත්ත්වයකදී කොහොමටත් අත්‍යවශ්‍යය. ගාන්ධි අවධාරණය කරනුයේ එදිනෙදා ජීවිතයේදී දරුවා සඳහා ලබා දෙන නිදහස පිළිබඳ කතාවය. පහ ශ්‍රේණියේ දරුවෝ යනු සමාජයේ සුවඳ පළමුවරට අාඝ්‍රාණය කළ පිරිසය. මව් ඇකයෙන් බිමට බැස, පාසල වෙත ගොස් සමාජය දෙස කර ඔසවා මුල් වරට දරුවා බලනුයේ ඔය වයසේදීය. එකෙනෙහිම ඔහුට හමුවන්නේ ශිෂ්‍යත්ව විභාගයය. එවන් යුද පිටියකට ඔය වයසේ මනස, ජෛව විද්‍යාත්මක ආකාරයේ සූදානමක් නැතත්, සමාජය හෙතෙම බලහත්කාරයෙන් ඒ සඳහා යොමු කරවන්නේය. මේ සඳහා අප්‍රමාණ බැණුම් තොගයක් මවුපියෝ අසාගන්නාහ. ඔය වයසේ දරුවෝ මහ පාන්දර නැඟිට, පන්ති ආදියට රැගෙන ගොස්, වෙහෙස මහන්සි කරවීම සම්බන්ධයෙන් ළමා මනෝවිද්‍යාව සම්බන්ධ වියත් උගත් පිරිවර, මව්පියවරු වෙත දොස් තබන්නෝය. වැඩේ සාධාරණය. ඔය වයසේ දරුවා යනු ‘සමනලයා මල හා ළමයා සේය’. ඒ සියල්ල සැහැල්ලුවෙන් උපදින සහ පවතින දෑය. එහෙව් මනසක්, අනෙකා පරයන තරගයක් උදෙසා, වසර දෙකකට ආසන්න කාලයක් අප මහන්සි කරවන කල, හාන්සි වන්නේ ළමා ලෝකයය. එසේම එවන් මනසක් ළමා කාලයේ සිටම ඇතිවූ දුව පුතා එතැන් පටන් සියලු පියවර තබන්නේ අර රටාවටය.

විභාගය නම් තරගය එහෙමය. ප්‍රශ්න පත්‍රය පිටවූවා යන්න මේ මනසට වෙනත් ආකාරයක වංචනික පදයක් කාන්දු කරවන්නේය. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටකිරීම සම්බන්ධයෙන් දරුවා සෑහෙන පමණකට දැනුම් තේරුම් ඇතුව සිටින්නේය.

පළමුව ඔහු යළි සිරගෙට යෑම සම්බන්ධයෙන් ඇති භීතිකාවය. ශිෂ්‍යත්ව විභාගය නිමාවූ වහාම, ඊට මුහුණදුන් සියලු දරුවෝ, උඩ පැන පැන කියන ලද්දේ ‘සෙල්ලම් වාරේ ඇවිල්ලා’ කියාය. ඒ තරමට විභාග ග්‍රහණය රළුය. දරුවකුගේ සත්‍ය අධ්‍යාපනය යනු වෙනසක් කිරීමය. කියා ගාන්ධි පවසන ලද්දේ ඒ ආකාරයට ළමා ලෝකය ඔවුනට අනන්‍ය ආකාරයට විවර කර, නව ආරකට දරුවා හැඩ ගැස්සවීමය. දැන් සිදුව ඇත්තේ ළමයාගේ ලෝකය ප්‍රශ්න පත්‍රයක සිරගත කිරීමය.

මේ වදය සඳහා දරුවා ලක් කරන හැම අම්මා තාත්තාම, ඒ ගැන දන්නේය. මේ වදය සඳහා ඔවුන් දරුවා දක්කාගෙන යන්නේ කැමැත්ත මත නොවේ. දරුවාගේ අනාගතය පිළිබඳව සිතාය. දුව පුතා රජ කරවනු වස්, හොඳ පාසලකට දමා ගැනීමට මේ ආකාරයෙන් වසර දෙකක් තිස්සේ අම්මලා ද වෙහෙස වන්නේය.

අවුල වී ඇත්තේ එහෙම මහන්සි වී ලියන ලද ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ගෘෘප් මාර්ගයෙන් වටේ ගොස් තිබීමය. සත්‍යය සහ අවිහිංසාව යනු දරුවන්ගේ ජීවිතයේ පවතින සුන්දරම අගයන් විය යුතු යැයි මහත්මා ගාන්ධි ප්‍රකාශ කළේ වුවද, සමාජය පළමු පියවර තබන දරුවා දකින්නේ, තමන් ලියන ප්‍රශ්න පත්‍රය පවා, කලින් එළියට ඇවිත් තිබීමේ, බොරුවය. දරුවාගේ ජීවිතයට ලැබිය යුතු සුන්දර අගය සුන් වන්නේ එතැන් සිටය.

වැඩේ ලීක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ නිවැරදි ආකාරයට සිදු වන්නේය. ඒ ගැන අවුලක් නැත. එසේම ලීක්වීම සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවකට විශේෂඥයෝ පැමිණ ඇත්තාහ. ඔවුහු තීන්දු කර ඇත්තේ, කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා පොදුවේ ලකුණ ලබාදී, වැඩේ ගොඩදමා ගත හැකි බවය. අවම හානියක් යටතේ ප්‍රශ්නයක් විසඳන්නේ ඒ ආකාරයටය. එසේ තිබියදී පිරිසක් පෙරේදා ඉසුරුපාය ඉදිරිපිට පාරේ, රොද බැඳගන්නට වූහ. යළි ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙස ඔවුහු ආණ්ඩුවට බල කරන්නාහ.

දරුවෝ නිදහසේ සිතන්නට, ප්‍රකාශ කරන්නට සහ තමන්ගේ ජීවිත නිවැරදි මඟට ගෙන යන්නට හැකියාව ලබාදීම මනුෂ්‍ය සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොටසකි. යනුවෙන් ගාන්ධි සිදු කළ ප්‍රකාශය අනුව මෙම උද්ඝෝෂණය විභාග කළහොත්, යළි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම යනු ළමයා උස්සා පොළොවේ ගැසීමක් නොවේ. වරක් හෙතෙම උස්සා පොළොවේ ගසා ඇත්තේය. මෙවර සිදු කරනුයේ ඇපිල්ලීමය.

ඒ ආකාරයට ළමයාගේ ජිවන ගලායෑම. සමාජයේ එක් දෝෂයක් නිසා ආපස්සට හැරවීමේ අයිතියක් අපට නැත. ළමා මනෝවිද්‍යාව පිළිබඳව සියලු විශේෂඥයෝ දෙවැනි වරට විභාගය පැවැත්වීම ගැන කතා කළ සැණින්, තැති ගන්නාහ. ළමා මනසට ඒ වදය දෙවරක් ලබාදීමට, ඔවුහු විද්‍යාත්මක පදනමින් විරුද්ධය. මනුෂ්‍ය සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය වූ ළමයාගේ නිදහස් චින්තනය යළිත් විභාගය පැවැත්වීමට ගිය විට වල් වදින්නේය.

උද්ඝෝෂණ සඳහා යමෙක් අධි රුචියක් ඇත්තේ නම් ඉසුරුපාය හරියේ, ඔය ආකාරයට බෝඩ් උස්සාගෙන යටි ගිරියෙන් කෑගැසීමේ වරදක් නැත. එහෙත් මේ රටේ දරු පරපුරේ අනාගත ගැන විනිශ්චය කරන්නේ නම් ඒ වැඩේ අවුලකි. ගාන්ධි ප්‍රකාශ කළ ආකාරයට සමීප වටිනාකම් සහ අවංකකම ඔවුන්ගේ අනාගත ජීවිතය හැඩගස්වන්නා වූ සියලු දෙනාගේ වගකීමකි. ඒ වගකීම කර දැරූ වැඩිහිටියෝ ලෙස මෙතැන් පටන් හැසිරෙන්න කියා, මේ තීරුව පාරේ බෝඩ් අල්ලාගෙන සිටින උදවියගෙන් ඉල්ලා සිටින්නේය.

ඉන්දීය නිදහස් සටනේ අනභිභවනීය සලකුණ වූ ගාන්ධිතුමා උපන්නේ 1869 වසරේ අද වැනි දිනකය. ගාන්ධි මඟ අනුව යමින් ශිෂ්‍යත්ව විභාගයේ අවුල මේ තීරුව අද විභාග කරන ලද්දේ ඒ නිසාය.

දරුවෝ යනු ජාතියේ අනාගතයයි. අපේ රට උන්නතිය කරා ගමන් කරවීමට නම්, දරුවෝ නිවැරදිව පෝෂණය කළ යුතුයි. යනුවෙන් ගාන්ධි ප්‍රකාශ කළ අන්දමට මේ රටේ අනාගතය සඳහා යළි අප වෙහෙසකර අත්දැකීම් ලබාදුන් කල, ඔවුනගේ මනස කඩාවැටෙනවා ඇත. එවන් දුර්විපාක ආදියෙන් ළමා මනස පාරනවා වෙනුවට, ඔවුනගේ මනසේ පෝෂණය උදෙසා අවශ්‍ය වටපිටාවක් අපි නිර්මාණය කළ යුතු වෙමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT