පොල් ගසකින් වැටී මියගිය සෙල්වරාජ් මෝගන්ගේ මරණ පරීක්ෂණයේදී ගස් හිමියා සාක්කි දෙයි
“මම ළඟට ගොස් බලන විට ඔහුට සිහිය තිබුණා. ඔහු ඈග් ගෑවා. කතා කරලා කකුල අමාරුයි කිවුවා.” පොල් ගසකින් වැටි මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී පොල් ගස් හිමිකරු වන මලවල විතානගේ ඇක්මන් (83) යන අය සාක්ෂි දෙමින් එසේ පැවසුවේය.
මෙසේ මියගොස් ඇත්තේ සෙල්වරාජ් මෝගන් නමැති පොල් කැඩීමෙන් ජීවිකාව ගෙන ගිය 54 හැවිරිදි තැනැත්තෙකි. අගලවත්ත, පිඹුරවත්තේ වතු නිවාසයක පදිංචිව සිටි සෙල්වරාජ් ජීවිත සටන ජයගැනීමට තෝරාගත්තේ පොල් කැඩීමේ රැකියාවයි. ඒ සඳහා ඔහු ගමන් පිට දුරබැහැර ප්‍රදේශවලට පවා ගමන් කිරීමට පුරුදුව සිටියේ කීයක් හෝ වැඩිපුර උපයාගැනීමේ අරමුණිනි. සෙල්වරාජ්ගේ බිරිඳ වන්නේ 51 හැවිරිදි පෙරුමාල් මුත්තු ලෙච්චමීයි. ඇයද වත්තේ කම්කරුවකු ලෙස රැකියාව කළාය. මොවුන්ට දරුවන් තිදෙනකු සිටි අතර, ඉන් දෙදෙනකුම මේ වන විට විවාහකය.
දිනපතාම මත් වතුර පානයට ඇබ්බැහි වී සිටි සෙල්වරාජ් ටික ටික නිවෙසින් ඈත් වූ අතර, දිවා කාලයේ තැන තැන ඇවිද පොල් කඩා, බස්නැවතුමක නැත් නම් කඩපිලක රැය පහන් කිරීමට පුරුදු වී සිටියේය. දරුවන්ට ඔහු හමු වූ විට නිවෙසට රැගෙන ආවත්, යළිත් පුරුදු පරිදිම ඉබාගාතේ ඇවිදීමට හේ කටයුතු කළේය.
සෙල්වරාජ් අවසන් වරට නිවෙසට ආවේ මීට මාසයකට පමණ පෙරය. ඉන් පසු ඔහු සිටින්නේ කොහේදැයි නිවැසියන් කිසිවකු දැන සිටියේ නැත. පසුගිය 28 දා මෝගන් පොල් කැඩීමට ගියේ බුලත්සිංහල ප්‍රදේශයටයි. ඒ බුලත්සිංහල, ගොරොක්ගස්මුල පදිංචි මලවල විතානගේ ඇක්මන් යන අයගේ වත්තේ පොල් කැඩීම සඳහායි.
එහිදී ඔහු පොල් කැඩූ පළමු ගසෙන්ම බැසීමට යෑමේදී ඇද වැටී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මේ සිද්ධිය වන අවස්ථාවේ එතැන සිටි පොල් ගස් හිමිකරු ඇක්මන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ පැවසුවේය:
“මට දැන් වයස නිසා රැකියාවක් කරන්නේ නෑ. ගෙදරට වී ඉන්නවා. මම මියගිය මෝගන් හඳුනාගෙන අවුරුද්දක් පමණ වෙනවා. ඔහු මාසෙකට සැරයක් අපේ වත්තේ පොල් කැඩීමට එනවා. පසුගිය 28 දාත් සවස 2.30ට විතර ඔහු අපේ ගෙදරට ආවා. මගේ වත්තේ පොල් ගස් හතක් විතර තියෙනවා. ගස්වල පොල් මෝරලා තියෙනවා කඩන්නද කියලා ඔහු මගෙන් ඇහුවා. මෝරලා තියෙනවා නං කඩන්න කියලා මං කිවුවා. ඔහු මුලින්ම අඩි 30ක් විතර උස පොල් ගහට නැඟලා පොල් කැඩුවා. මම ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියා. පොල් කඩලා ඉවර වෙලා මෝගන් ගහ දිගේ ටික දුරක් බැහැගෙන ආවා. එවිට එකපාරටම ඔහුව ගහෙන් බිමට වැටුණා. ඔහු වැටුණේ එතන තිබුණු තේ ගස් උඩටයි. මම ළඟට ගොස් බැලුවා. ඔහුට සිහිය තිබුණා. ඔහු ඈග් ගෑවා, කකුල අමාරුයි කියලා කිවුවා. මම ඉක්මනින් පාරේ ගිය ත්‍රීවීලර් එකක් නතර කරගත්තා. ඒ වෙලාවේ වෙන කවුරුවත් හිටියේ නැහැ. මම ත්‍රීවිල් රියැදුරුගේ උදවුවෙන් ඔහු ඉක්මනින්ම බුලත්සිංහල රෝහලට ගෙනාවා. ඔහු රෝහලේදීත් කතා කර තිබෙනවා. එතැනින් හොරණ රෝහලට ගේන බව කිවුවා. ඉන් පසු මම ගෙදර ගියා. පසුවදා උදේ ඔහු මිය ගිය බව දැනගන්න ලැබුණා.”
මියගිය සෙල්වරාජ් මෝගන්ගේ බිරිය වන පෙරුමාල් මුත්තුලෙච්චමී යන අයද මෙහිදී සාක්ෂි දුන්, අතර පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී වරංගනා තංතිරිමලගේ මහත්මිය විසින් සිදු කරනු ලැබිණි. බුලත්සිංහල පොලීසියේ සැරයන් ගුණරත්න (62904) නිලධාරියා සාක්ෂි විමසීම සිදු කළේය.
මෙහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මේ මරණය උසකින් වැටීම හේතුවෙන් අභ්‍යන්තර අවයවවලට හානි වීමෙන් ඇති වූ අධික රුධිර වහනය නිසා හටගත් කම්පන තත්ත්වය මත සිදු වූ මරණයක් බවට ගල්පාත හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු දීපාල් ඖෂධරත්න මහතා නිගමනය කළේය.
හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ