Home » බදුලු ජනතාවගේ හදේ සැමදා රැඳුණු හිටපු නි. ඇමැති බී.එච්. බණ්ඩාර

බදුලු ජනතාවගේ හදේ සැමදා රැඳුණු හිටපු නි. ඇමැති බී.එච්. බණ්ඩාර

by sachintha
October 2, 2024 1:27 am 0 comment

(හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ බී. එච්. බණ්ඩාර මහතාගේ 43 වැනි ගුණ සැමරුම වෙනුවෙනි.)

බී. එච්. බණ්ඩාර මහතා ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව දක්ෂ අන්දමින් ඩී. ඇස්. ඒ. සී. විභාගයෙන් ගෞරව සාමාර්ථය ලැබූවෙකි. දේශීය වෛද්‍යවරයකු වූ බී. එච්. බණ්ඩාර මහතා බදුලු ජනතාවගේ ප්‍රසාදයට ලක් වූයේ රෝග සුව කිරීමට එතුමා තුළ තිබූ සහජ හැකියාව නිසාවෙනි. ඒ මහතා දේශපාලනයට එක්වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඇසුරටත්, දේශපාලන ගමන් මඟටත් ඇලුම් කළ නිසාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජයේ 1960 සිට 1977 කාල වකවානුවේ නොකඩවා 17 වසරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ද, 1970 සිට 1977 දක්වා සමගි පෙරමුණ රජයේ නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය. බී. එච්. බණ්ඩාර මහතා කෘතහස්ත, නිහඬ බදුල්ල ජනතාවගේ ආදරය දිනූ මහජන මන්ත්‍රීවරයෙකි.

තම පාලන කාලයේ බදුලු ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ දේශපාලන නායකයෙකි.1965දී එක්සත් ජාතික පක්ෂ රජය ජයග්‍රහණය කළ මොහොතේදීද බදුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසුනක් ලෙස ජයග්‍රහණය කිරීමට හැකි වූයේ බදුලු ජනතාව ඒ මහතා ගැන තිබූ විශ්වාසය සහ ආදරය නිසාමයි. පළිගැනීමේ දේශපාලනය මේ නිහතමානී චරිතය තුළ කිසිදා නොතිබිණි.

නව නිවාස සංකීර්ණ, නව මහාමාර්ග, නව බස් සේවා, රැකියා දීම් තම බදුලු ජනතාව වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කරන ලදි. සතොස, මුතියංගණ රාජමහා විහාර සංවර්ධන කටයුතු සහ ප්‍රදේශයේ අනිකුත් වෙහෙර විහාරවලටත් ඉමහත් සේවයක් කර තිබිණි. බදුල්ල ආරෝග්‍ය ශාලාව සංවර්ධනය, බදුල්ල බහුතාක්ෂණ ආයතනය ඒ මහතාගේ කාලයේ කළ ප්‍රධාන ව්‍යාපෘති වේ. තම ජනතාවට ඒ මහතාගේ නිවෙසේ දොර සැමදා විවෘතව පැවතුණි. හිටපු නියෝජ්‍ය ඇමැති බී. එච්. බණ්ඩාර මහතා වියෝවී 43 වසරක් ගෙවුණත් ඒ මහතාගේ ශ්‍රී නාමය බදුලු ජනතාවගේ හදවතේ සැමදා රැඳී පවතිනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT