මව රැකියාවට ගිය විට ආච්චියි සීයයි සොයුරයි අනුහස් බලාගනී
දුම්රිය අනතුරකින් විපතට පත්ව දුෂ්කර ජීවිතයක් ගත කරන දරුවකු පිළිබඳවත් ඔහු රැක බලාගන්නා වැඩිහිටියන් ගැනත් ශෝචනීය පුවතක් ලෝක ළමා සහ වැඩිහිටි දිනය සමරන දා කොස්ගොඩ ප්‍රදේශයෙන් අහන්නට ලැබෙයි.
නමින් සදෙව් අනුහස් තෝමස් වන ඔහු සිටින්නේ කොස්ගොඩ පියගමය. ඔහුට දැන් වයස අවුරුදු 15කි. හුරුබුහුටි දරුවකු වූ ඔහු ගිය වසරේදී දුම්රිය අනතුරකට ලක් වී මේ වන විට සිටින්නේ ඇඳක් මත ඔත්පොළවය. ඔහුට කතා බහ කිරීමට ද නොහැකිය.
ඔහු අනතුරට ලක්වන විට ඉගෙන ගත්තේ කොස්ගොඩ හෑගල්ල මහා විදුහලේ නව වැනි වසරේය. පසුගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා උදේ අමතර පන්තිවලට ගොස් නිවෙසට පැමිණ දහවල් කෑමෙන් පසු තම සහෝදරයන් සමඟ සෙල්ලම් කර පසුව තම යාළුවකුගේ නිවසකට ගොස් ඇත. ඒ නිවසට යන අතර, පියගම දුම්රිය ස්ථානය අසල දුම්රිය පාරේ ඔහු බළපිටිය දෙසට ගමන් කළ අතර ඔහුට යෑමට සිදුවූයේ ටික දුරක් පමණි. කොළඹ සිට පැමිණි බෙලිඅත්ත බලා ගමන් ගත් ශීඝ්‍රගාමී දුම්රියක ගැටුණු අතර, ඔහු විසි වී ගොස් දුම්රිය පාර අයිනේ තිබූ යකඩ කණුවක හැපී ඉවතට විසි විය. මේ දරුවා අනතුරට පත් වූ වහාම ප්‍රදේශවාසීන් එක්ව බළපිටිය රෝහල වෙත යතුරුපැදියකින් රැගෙන ගියේය. ඔහුගේ හිස යකඩ කණුවේ හැපීම නිසා හිස්කබල දෙකට පැළී තිබුණි. සිද්ධිය වූ ස්ථානයේ සිටි අයෙක් කමිසයකින් ඔහුගේ හිස ගැටගසා යතුරුපැදියකින් බළපිටිය මූලික රෝහල කරා රැගෙන ගියේය. එහිදී ඔහු සැත්කමකට භාජනය වූ අතර, පසුව ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යන ලදි. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකක් පමණ ප්‍රතිකාර ලැබීය. එම රෝහලේදී ඔහුගේ දෙපළු වූ හිස්කබල සැත්කමකින් එක්කර ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු සමත් වූහ. ඔහු කලක් රෝහල්ගතව සිටියත් නැවත ඔහුට යළි යථා තත්ත්වයට පත්වීමට නොහැකි විය. ඔහු ඉන්නේ ඇඳක් මතය. ඔහුට ආහාරපාන ලබාදෙන්නේ උදරයට ඇතුළු කළ නළයක් මාර්ගයෙනි.
මේ දරුවාට දියර ආහාර පමණක් දෙන අතර, වෛද්‍යවරුන් නියම කර ඇති කිරිපිටි වර්ග ද ඉතා මිල අධිකය. මින් එක් කිරිපිටි වර්ගයක මිල රුපියල් 16000ක් පමණ වේ. මාස හතක් පමණ ඔහු නිවසේ ඇඳක් මත වැතිර සිටී. මේ දරුවාට බෙහෙත් ද්‍රව්‍ය සහ කිරිපිටිවලට විශාල වියදමක් යයි. ඔහුගේ මව ඇඟලුම් ආයතනයක රැකියාවක් කරයි. ඇයගේ රැකියාවෙන්උපයන මුදලින් මේ දරුවාගේ බෙහෙත් හේත් ගැනීමටවත් මදිය. දරුවා බලා කියාගන්නේ ඔහුගේ ආච්චි, සීයා සහ වැඩිමහල් සොයුරායි. මව රැකියාවක් කරන හෙයින් ආච්චි සහ සීයාට තම මුනුපුරා බලාගන්න අමාරු නිසා සදෙව්ගේ වැඩිමහල් සොහොයුරා ද තම මල්ලි වෙනුවෙන් කැප වී රැකියාවකට නොගොස් සදෙව් රැක බලාගනී.
සදෙව් රෝගාතුර වීමෙන් ඒ පවුලේ අය ගත කරන්නේ දුෂ්කර ජීවිතයකි. මේ දරුවාට කෑම බීම දියර වශයෙන් ලබාදුන්න ද සමහර විට එම ආහාර නාසයෙන් සහ කටින් ඉවතට පැමිණේ. මේ අවස්ථාවේදී දරුවා බලාගන්නා ආච්චි සීයා ද ඉමහත් අපහසු තත්ත්වයට පත් වේ. ඒ බව මෙය වාර්තා කිරීමට ගිය අපටත් දැකගැනීමට හැකි විය. ආර්ථික වශයෙන් දුෂ්කර ජීවිතයක් ගත කරන මේ පවුලට අස්වැසුම හෝ සමෘද්ධිය හෝ ආබාධිත දීමනාව ද ලැබී නැත. බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කීප විටක් ගියත් මේ තාක් තමන්ට සහනයක් නොවූ බව මේ දරුවාගේ ආච්චි වන ශ්‍රියාලතා රූපකාන්ති මෙන්ඩිස් මහත්මිය පවසන්නීය. ඔවුන් ඉල්ලා සිටින්නේ මේ දරුවාට පිළිසරණක් වන ලෙසයි.
කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන