Thursday, May 15, 2025
Home » සමනළ අඩවියේ අසිරිමත් කතන්දර – උපාලි සමරසිංහ

සමනළ අඩවියේ අසිරිමත් කතන්දර – උපාලි සමරසිංහ

by sachintha
October 2, 2024 1:37 am 0 comment

කලක් පත්තර පිටු අතරේ නමක් රැන්ඳූ උපාලි සමරසිංහ දැන් සංචාර, පරිසර සටහන් පෙළක් රැඟත් ‘සමනළ අඩවියේ අසිරිමත් කතන්දර’ කෘතියත් සමඟ අප හමුවට පැමිණ සිටියි. ඒ ඔස්සේ බොහෝ දෙනකු පුවත්පත්, සඟරා, රූපවාහිනී වැඩසටහන් ආදියෙන් අසන, දකින කාටත් අලුත්, පුදබිමක් නොවන ශ්‍රීපාද ස්ථානයේ එතරම් එළි නොවුණු පැතිකඩක් කෙරෙහි පාඨකයාව කැඳවා ගෙන යයි. සිත් ගන්නා සුළු, කියවීමේ රුචිය වඩවන අයුරින් විවිධත්වයකින් යුතුව සරල කෙටි බස් වහරකින් යුතුව, කුඩා, අනු කුඩා මාතෘකා පෙළකින්, සරල බසින්, චිත්ත රූප මැවෙන අයුරින් ශ්‍රීපාද වන්දනා ගමන හුරු පුරුදු පොල්මංකාරයන්ට මෙන්ම කෝඩුකාරයන්ට පවා අලුතින් කියවා රස විඳින්නට හැකි ආකාරයේ විවිධත්වයකින්, චමත්කාරයකින් යුතුව ‘සමනල අඩවියේ කතන්දර’ කෘතිය ඉදිරිපත් කර ඇත.

උපාලි සමරසිංහ මින් පෙර ඔහු රචනා කළ වෙනත් කෘති ඇසුරෙන් ලද අත්දැකීම් ඇසුරෙන් මේ අලුත් පොතටත් කළතා අනා උපායශීලීව ගලපා ගෙන ඇතැයි පෙනේ. එනම්, කල්තබා හොඳ වෙළෙදපොළ සූදානමකින් යුතුව මේ කෘතිය එළිදැක්වීම කෙරෙහි යොමු වී ඇති බවය. එනම්, විකුණා ගැනීමේ අපහසුතාවක් නැති නිර්මාණයක් කිරීමය. පාසල්, පුස්තකාල කොතැනටත් මේ පොත එක සේ ඔට්ටුය. මෙහෙව්, වැඩක් කළ විට තවත් පොතකට කජු කන්නාක් මෙන් පහසුවෙන් මාරු විය හැකි වග උපාලි පසක් කර ගත් සැටියකි. නොඑසේ නම් ඇතැමුන් මෙන් පළ කළ පොත් ඇඳන් යට, මුද්‍රණාල ගබඩාවල ගොඩ ගසා ගෙන නිය විකමින්, මහ මඟ දෙස බලමින් කල්පනා කරන්නට වෙනවා ඇත. එහෙත් පොත් පළ කළ යුතු වන්නේ පාඨකයාට කියවීම පිණිසය. එහෙයින් උපාලි සමරසිංහගේ මේ පොත, ඒ විකුණා ගත නොහැකිය කියා පොත් ගොඩගසාගෙන සිටිනා කතුවරුන්ට ආදර්ශයක් වනු ඇත. අනෙක, සරසවි වැනි ප්‍රකට ප්‍රකාශකයකු ලවා කෘතියක් පළ කරවා ගැනීම බොහෝ අංකුර ලේඛකයන්ගේ සිහිනයකි. ඒ අවස්ථාව එක්වරම නොලැබෙන බවත්, කෙමෙන් කුසලතා, දක්ෂතා ඉහළ නංවා ගනිමින් සංයමයෙන් ලේඛනයේ නිරතවිය යුතු වූවන්ට බහුලව ලැබෙන්නක් වගත් ඇත්තකි. උපාලිගේ ගමන් මඟ කෙරෙහි ඉවසිල්ලෙන් බලන්නකුට ඔහුද එසේම වග පසක් වනු ඇත.

කතුවරයා මෙවර පාඨක වේදිකාවට නඟින්නේ, ජනකතා, කටකතා, අද්භූත කතා, ආගමික වත්පිළිවෙත්, භික්ෂූන්, යකුන්, දෙවියන් ආදීන් ද ඈදෙන බහුවිධ කතා පෙළක් එකම පොතකින් ඉදිරිපත් කරමිනි. එහෙත් එය අවතක්සේරු කිරීමක් මෙයින් නොකෙරේ. ළමා කතා, චරිත කතා රචනයෙන් මඳකට ඈත් වෙමින් පරිසර වර්ණනා, සිද්ධි, වෙතට යොමු වීමෙන් පාඨකයාට අලුත් අත්දැකීමක් තිළිණ කරන්නට උපාලි උත්සාහ දැරූ සෙයකි. පත්තර කලාවේ ඉතා අඩු කාලයකදී ලිපියක් සකස් කර දීමේ අවශ්‍යතාව මත කියවන විට ලිවීම පළමු තෝරා ගැනීම වීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව ප්‍රකට තැනැත්තන්ගේ අම්මාවරුන්, පියවරුන් ආදීන් පිළිබද පළ කෙරුණු ලිපි එක්කොට කෘති වශයෙන් පළ කර ගැනීමේ අවස්ථාව උපාලිට ඔහුගේ රාජකාරි කාලයේදීම ලැබිණ. ඒ පුවත්පත් කලාවේදියකුට හිමි වන විරල අවස්ථාවකි.

නැවතත් අපි ශ්‍රී පාද අඩවියට හැරුණොත්, එක දිගට කියවාගෙන යෑමටත් කතා එකිනෙකින් වෙනස් මනෝභාවයන් ජනිත කරවමින් අලුත් ලොවකට පාඨකයා කැදවාගෙන යෑමට උපාලි පෙන්වන දක්ෂතාවට නිදසුන් එමටය. වරෙක, කරුණාවය. තවත් විටෙක ත්‍රාසයය. ඒ එකිනෙක මතු කරන කතා අතරතුර උපාලි මතු නොකරන්නට කිසිදා එළි නොවී වැලළී යතැයි සිතිය හැකි කතාන්දර රැසකි. එසේම, හුදු අසා ලිවීමෙන් එහාටත් යමින්, ඇතැම් පුද්ගලයන් දකින්නට දුරුකතර ගෙවාගෙන සමනළ අඩවියට කළ සංචාර කතුවරයාගේ මානව දයාව, දයාර්ද වග මොනවට කියාපායි.

සැබැවින්ම එවැන්නක් නොවන්නට නිකම්ම නිකං චාරිකා පෙළක්, කයි කතන්දර ටිකක් පමණක් වන්නට තිබුණු මෙහි සතා සිවුපාවුන්, භික්ෂූන්, දඩමං කෙරෙහි පාඨකයා මෙතරම් සංවේදී නොවන්නට ඉඩ තිබිණ. එසේම, හුදු සමන් දෙවි වර්ණනාවක් පමණක් විය හැකිව තිබූ ශ්‍රීපාද ගමන උපාලි ඊට බෙහෙවින් එහාට ගෙන ගොස් ඇත. ඒ සැඟවුණු අමුත්තකු මෙන් රූපකායෙන් නුදුටු ඒ ප්‍රතිරූපය නිතර මේ කතා පසුබිමේ තිබෙන්නට හරිමිනි. දෙවනුව, ඉතිහාසගත වගතුග ද, ඩැනියෙල් පාර්තේ, ක්වේරෝස් පියතුමන්, ලුතිනන් මැල්කම් ආදීන් හරහා අපට ඉතිහාසය නැවත මතක් කර දීමටත් උපාලි ඔහුගේ ශ්‍රීපාද චාරිකාව උපායශීලීව යොදා ගත් ආකාරය සිත් ගන්නා සුළුය. සැබැවින්ම ඉතිහාසය, සෞන්දර්යය මෙන්ම දරුවන් පොත්පත් කියවීම අඩු මෙකල මතු පරපුරට මෙයින් කියැවීම කෙරෙහි කොළ එළියක් වැටෙන සැටියකි. ඒ අනුව විද්‍යාර්ථින්ට භූගෝලීය ඓතිහාසික, පාඩම් උගනිමින්ම ශ්‍රීපාදයත් සීතල වටපිටාවකදී වැද පුදා ගැනීමට ඉඩ සැලැස්වීමට උපාලි සමරසිංහ හපන්කමක් දක්වන්නේ ඒ ගමනට පළපුරුදු නඩේ ගුරකු වෙමිනි.

මේ අනුව ගමන් විඩාවක්, වෙහෙසක් නොදැනෙන්නට අපට ශ්‍රීපාදය වන්දවන කතුවරයා ඒ ගමනේදී බොහෝ දෙනකු අත් නොවිදින පැත්තක් ද විවර කරන්නේ අද්භූත සිද්ධි, කයි කතාන්දර සිහි කරමිනි. එයින් ඇරඹී, අතුරු මං මාවත් ඔස්සේ විහිදෙන මතක මංපෙත් ශ්‍රීපාද මතු නොව තවත් ස්වභාව සෞන්දර්යයේ දෙස් විදෙස් ගමනාන්ත රැසකට පාඨකයා කැඳවනු ඇත.

නුවන් මහේෂ් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT