Home » හංවැල්ලෙ ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ලලිත්ගේ කොන්ත්‍රාත්තුවක්

හංවැල්ලෙ ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ලලිත්ගේ කොන්ත්‍රාත්තුවක්

ව්‍යාපාරිකයෝ රැසක් කප්පම්කරුට බියේ ප්‍රදේශ හැරදා ගිහින්

by sachintha
October 2, 2024 1:04 am 0 comment

පාතාල ලලිත් කලක් ව්‍යාපාරිකයාගේ රියැදුරු ලෙසත් ඉඳලා

හංවැල්ල වග නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස සිටින්නේ ඩුබායි හි රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා බවට සැකකරන තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ.

හංවැල්ල හා ඒ අවට පදිංචි ව්‍යාපාරිකයන් බිය වද්දමින් කප්පම් ගැනීම්වල නිරතව සිටින ලලිත් කන්නන්ගර පසුගිය කාලයේදී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුදා හැර ඇති බවද සඳහන්ය.

මෙම පාතාල අපරාධකරු ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ බස් රථයක ⁣බොහෝ කලකට පෙර සේවකයකු ලෙස කටයුතු කර ඇතැයි ද පසුව ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සහ සංවිධානාත්මක අපරාධකරු අතර කාලයක සිට බහින්බස් වීම් තිබී ඇතැයිද අනාවරණය වී ඇතැයි එම නිලධාරීයා පැවසීය

⁣ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාට ඉකුත් 2021 වර්ෂයේ සැප්තැම්බර් මස 20ත් 22ත් අතර දිනකදී නි‍ෙවස අසලටම පැමිණ මේ ආකාරයෙන්ම නාඳුනන වෙඩික්කරුවකු වෙඩි තබා තිබුණ ද එම අවස්ථාවේදී දිවි ගලවා ගැනීමට ව්‍යාපාරිකයාට හැකි වී ඇත.

මෙම වෙඩි තැබීම කළ වෙඩික්කරු ව්‍යාපාරිකයාගේ නි‍ෙවස අසල තාප්පයකට මුවා වී පැයකට වැඩි කාලයක් සැඟව සිටි බවට නි‍ෙවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවද පොලිසිය පවසයි.

අනතුරුව නි‍ෙවසේ තාප්පයෙන් පැන්න වෙඩික්කරු නි‍ෙවස වටා දිව විත් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඉදිරිපස ගේට්ටුවෙන් පිටතට දිව යන ආකාරයද එම ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව ඇත.

එලෙස දිව ගිය වෙඩික්කරු යතුරුපැදියක නැඟී පලා ගිය බව අසල්වාසී විසින් ලබා දුන් තොරතුරුවල සඳහන්ව ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්.ඩී. වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි රථ වාහන අමතර කොටස් වෙළඳාමේ නිරත වූ දෙදරු පියකු වූ ව්‍යාපාරිකයෙකි.

ව්‍යාපාරිකයා තම නි‍ෙවසෙහි ආලින්දයේ පුටුවක් මත වාඩි වී සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටි බව අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

අදාළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ හංවැල්ල පොලිසියේ අපරාධ අංශය පරීක්ෂණ පවත්වයි.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නමැත්තාගේ බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ඉල්ලීම් නිසාවෙන් හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු තම ව්‍යාපාර වලින් ඉවත්ව නිවාස පවා විකුණා දමමින් එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බැවින් මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැක ගැනීම සඳහා සුවිශේෂී ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි සහ

නවගමුව සමූහ සුගත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT