ලොව වෙනස් වීමත් සමඟ සියලු දේ වෙනස් වෙනවා – අගමැති ලේකම්
දරුවන්ගේ අභිලාෂයන් ඔවුන්ට ඉටු කර ගත හැකි සමාජයක් රටේ ස්ථාපිත කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය පැවසුවාය.
මෙරට දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රටේ ඉතා වැදගත් කොට්ඨාසයක් බවත් ඔවුන් ආරක්ෂා කර ගැනීම සියලුදෙනාගේ යුතුකමක් බවත් ඇය ප්‍රකාශ කළාය.
ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරමින් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පැවැති උත්සවයට එක්වෙමින් අගමැතිනිය මේ බව ඊයේ (01) පැවසුවාය.
ළමා දින සැමරුම් මුද්දරය හා මුල්දින කවරය එළිදැක්වීම, ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම, සිතුවිලි සිත්තම් චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට සහතිකපත්‍ර ප්‍රදානය, ‘ඩිජිටල් ලොව දරුවා සුරකිමු’ කෙටි වීඩියෝපට නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගයීම, වැඩිහිටි නිවාස ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් වැඩිහිටි නිවාස ඇගයීම, වැඩිහිටි සුවසරණ රක්ෂණාවරණය හඳුන්වා දීම, ඇට්ලස් ආයතනය මඟින් අනුග්‍රාහකත්වය ලබාදෙන ‘සිප්සවි’ අධ්‍යාපන ආධාර පිරිනැමීම යනාදිය ද මෙහිදී සිදු කෙරිණි.
අගමැතිනිය එහිදී මෙසේද පැවසුවාය.
“සමාජයේ අතිශයින්ම වැදගත් කොටස් දෙකක් සමරන දිනයක් අද. දරුවන් කියන්නේ අපේ අනාගතයයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ අපේ අනාගතය මෙතැනට ගෙන ඒමට හැකි වූ වර්තමානය බිහි කර දුන් පරපුර. මේ කොටස් දෙකටම අපි ගෞරවය කරනවා, අගය කරනවා. ඕනෑම රටක් ශිෂ්ට සම්පන්න, සංවර්ධන වීම තුළ වැදගත් නිර්නායකයක් වන්නේ අදාළ සමාජය දරුවන්ට සහ වැඩිහිටියන්ට සලකන ආකාරයයි. රැකවරණය, ආරක්ෂාව ලැබිය යුතු ප්‍රජාව විදියට මේ ප්‍රජාව හැඳින්විය හැකියි. මේ ප්‍රජාවට සැලකීමෙන් එම රට කොතරම් දියුණු ද, කොතරම් ශිෂ්ට සම්පන්න ද යන්න හිතාගන්න පුළුවන්. රටක් විදියට කරන්න තිබෙන වැඩ ගොඩක් අපට තිබෙනවා. පසුගිය කාලයේ මෙරට ඇති වූ අර්බුදවලදී දරුවන් ප්‍රධාන වින්දිතයන් වුණා. අද වන විට ගොඩනැඟී තිබෙන තරගකාරී, පීඩාකාරී සමාජයේ ප්‍රධාන වින්දිතයන් ලෙස දරුවන් පත්ව තිබෙනවා. බිඳවැටී තිබෙන සමාජ සම්බන්ධතා, පවුල් සම්බන්ධතා, එකිනෙකා පිළිබඳ විශ්වසනීයත්වයක් නැතිකම, ආයතන පිළිබඳ විශ්වසනීයත්වයක් නැතිකම, දේශපාලනඥයන් හා තම නායකයන් ගැන තිබෙන විශ්වසනීයත්වය බිඳවැටීම තුළ පොදුවේ තිබෙන අවිශ්වාසය නිසා රටේ අස්ථාවර අනාරක්ෂිත තත්ත්වයක් ගොඩනැඟී තිබෙනවා. සමාජයක් දියුණු වීමට නම් විශ්වසනීයත්වය ඉතාම වැදගත්. මෙරට තිබෙන ප්‍රධාන අර්බුදය වන්නේ රටේ පුරවැසියන් තුළ සමාජයේ විශ්වසනීයත්වය නැතිකමයි.
අපි සියලුදෙනා තනිව සිටිනවා. මුහුණ දෙන ප්‍රශ්නවලට තනිව විසඳුම් සොයන්න උත්සාහ කරනවා. තනි වූ සමාජයක අපි ජීවත් වෙනවා. එය වෙනස් විය යුතුයි. රටේ සියලු ආයතන ජනතාව වෙත සේවය කරන ආයතන ලෙස වගකීම් ඉටු කළ යුතුයි. එවැනි තත්ත්වයක් සමාජයේ නැහැ. ඊට වගකිව යුත්තේ අපි සියලුදෙනාම එක්වයි. සමාජ අර්බුදය නිවැරදිව හඳුනාගෙන සාමූහිකව මැදිහත්ව විසඳුම් සෙවීමට උත්සාහ කළ යුතුයි. කෙටි කාලීන ජයග්‍රහණවලට එහා ගිය ජයග්‍රහණ වෙත අපි යොමු විය යුතුයි. සාමූහිකත්වය ගොඩනඟා ගත් සමාජයක් ස්ථාපිත කිරීමට අපි පියවර ගත යුතුයි. සමාජයේ තිබෙන ප්‍රශ්න විසඳීමට රජයක් විදියට අපේ මැදිහත් වීම සරලව මතුපිටින් පමණක් නොව, බැරෑරුම් ආකාරයේ මැදිහත් වීමක් වෙනවා. ඒවාට දීර්ඝ කාලීන විසඳුම් සැලසුම්සහගත ලෙස සෙවිය යුතුයි. තෝරාගත් දරු පිරිසකට පමණක් නොව, සියලු දරුවන්ට හොඳම දේ ලැබිය යුතුයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අර්බුද රැසකට මුහුණ දෙන අතර, ඔවුන්ට ආර්ථික ගැටලු පවතින නිසා යැපෙන්නන් බවට පත්ව සිටිනවා. එය පිළිගත හැකි තත්ත්වයක් නොවේ. සතුටු ජීවිත ගත කළ හැකි සමාජයක් බිහි කිරීම අපේ අරමුණයි.
අධ්‍යාපනයේ විශාල අර්බුද රැසකට මුහුණ දීමට අපට සිදුව තිබෙනවා. අධ්‍යාපනයේ තිබෙන විශ්වාසය මේ වන විට කඩාවැටී තිබෙනවා. එය භයානක තත්ත්වයක්. අධ්‍යාපනය, පාසල් පද්ධතිය පිළිබඳ සැකයක් ඇති වන විට එය බරපතළ තත්ත්වයක්. අධ්‍යාපනය වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට අපේ ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබන සියලු දරුවන් රැකගෙන ඔවුන්ගේ හැකියාව එළිදැක්විය හැකි සමාජයක් නිර්මාණය කළ යුතුයි. ඒ තුළින් රටට අවශ්‍ය පුරවැසියකු බිහි කිරීමේ වගකීම අපට තිබෙනවා. දුර්වල ප්‍රතිපත්ති නිසා දැනට ඇතිව තිබෙන ගැටලු එක රැයින් අපට විසඳිය නොහැකි බව අපි දන්නවා. ජනාධිපතිවරයාගේත් මැදිහත් වීම මත පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව විසඳීමට අපි උත්සාහ කරනවා. සියලු දරුවන්ට සාධාරණයක් ඉටු වන විසඳුමක් මේ ගැටලුවට අපි දෙනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සමඟ අපි කිට්ටුවෙන් වැඩ කරනවා. මෙවැනි ගැටලු නැවත ඇති නොවන ආකාරයේ විසඳුම් ලබාදීමට අපි කටයුතු කරනවා. මේ ගැටලුකාරී තත්ත්වයට හේතු වූ සියලුදෙනාට නීතිය උපරිමයෙන් ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා. විභාගවල අවිනිශ්චිත බවක් නිර්මාණය නොවිය යුතුයි. පීඩාවක් ඇති නොවිය යුතුයි. මවුපියන් ද පීඩනයට ලක් නොවිය යුතුයි. මේ ගැටලුව සඳහා හොඳම විසඳුම සෙවීමට අපි උත්සාහ කරනවා. දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රමුඛ කර ගනිමින් සියලු තීරණ අපි ගන්නවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේම දරුවාගේ යහපත ප්‍රමුඛ වන ආකාරයේ පරිවර්තනය සිදු කිරීමට අපි මැදිහත් වෙනවා. තීරණාත්මක මොහොතක අපි සිටින්නේ. කාලයක් තිස්සේ අවධානයට ලක් නොවූ ගැටලු ඒවාට තිරසර විසඳුම් ගෙන ඒමට අවස්ථාව අපට ලැබී තිබෙනවා. අපි සොයන විසඳුම්වලින් තවත් පාර්ශ්වයක් අපහසුතාවට පත් නොවිය යුතුයි. ඒවාට විසඳුම් සෙවීමට අපි පියවර ගන්නවා. මේ සියලු ගැටලුවලට ඉවසීමෙන් මුහුණ දෙමින් රටට යහපතක් උදා කළ යුතුයි.”
අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා – “මගේ වෘත්තීය ජීවිතයේ මම වැඩිපුර ආදරය කරන වෘත්තියක් තමයි ගුරු වෘත්තිය. ඊට හේතුව දරුවන් සමඟ සිටින විට අප යාවත්කාලීන වෙනවා. ලෝකයේ වෙනස් වීමත් සමඟ සියලු දේ වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයේ දරුවන් සතුටින් තැබීම කළ යුතුයි. අද වන විට දරුවාගේ නිදහස අහිමි වෙලා තිබෙනවා. දරුවා ඉලක්ක කරා යොමු කරන්නේ මවුපියන්. දරුවාගේ ඉලක්කය වෙත ඔවුන්ට යෑමට ඉඩ දිය යුතුයි. දරුවාට ආදරෙයි කියා සිතා ඔවුන්ගේ අපේක්ෂාවන් මවුපිය වැඩිහිටියන් තළා පෙළා දානවා. එය නොවිය යුතු දෙයක්. මේ සම්බන්ධයෙන් අපි නොයෙක් විට කතා කරනවා. එසේම පරීක්ෂණ පවත්වනවා. නමුත් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට තිබෙන අවස්ථා අහුරා දැමීමක් මවුපිය වැඩිහිටියන් කරනවා. පසුගිය දින කිහිපයේ ඇති වී තිබෙන ගැටලුව බලන්න. පහ වසර ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන් දැන් පීඩාවට පත්ව සිටිනවා. දරුවන්ට කතා කරන වචනයෙන් පවා අපි පරිස්සම් විය යුතුයි. ඒ තරමටම දරුවා කියන්නේ සංවේදී කාරණාවක්. වැඩිහිටියන් විදියට දරුවන් සමඟ වැඩ කිරීමේ දී ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුයි. වැඩිහිටියන් සුරක්ෂිත කිරීම ද අපේ වගකීමක්. වැඩිහිටියන්ට දීමනාවක් ලබාදී ආහාරපානවලින් සන්තර්පණය කිරීම ප්‍රමාණවත් නැහැ. ඊට වඩා වැඩි යමක් අපි කළ යුතුයි. පොහොසත් රටක් අපි නිර්මාණය කළ යුතුයි.”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා – “සාමූහිකවාදය සහ පෞද්ගලිකවාදය ලෙස සංකල්ප දෙකක් තිබෙනවා. කිසියම් දෙයක් කරන විට සාමූහිකවාදය තුළ කළ යුතුයි. එක්ව කටයුතු කරන්නේ නම්, ගොඩක් දේවල් අපට සාර්ථක කර ගත හැකියි. ජපානය ඇදවැටී තිබූ අවස්ථාවේ නැඟිට සිටියේ එකමුතුකමින්. දරුවන් දක්ෂයි. උදාහරණයක් විදියට විශ්වවිද්‍යාලයට එන දරුවන් ගැන හිතමු. මේ දරුවන්ට පයිප්පයක් කැඩී තිබෙන විට එය පිළිසකර කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම වැසිකිළියට ගියත් ඒකට වතුර ගසා නොඑන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. එය වෙනස් විය යුතුයි. ගාන්ධිතුමා වරක් ප්‍රකාශ කළේ තමන්ගේ වැසිකිළිය තමන්ට පිරිසුදු කර ගැනීමට නොහැකි නම් රටක් හැදිය නොහැකි බවයි. සමාජයේ සියලුදෙනා කරුණාවෙන් කතාබහ කර සිනහ මුසුව සිටිය යුතුයි. කෝපය, වෛරය, තරහව ලෝකයේ වපුරා තිබෙනවා. මිනිසුන් අතර පමණක් නොව ගස් කොළන් සමඟත් මිතුරු බවක් ඇති කර ගත යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් සමාජය පිරිය යුතුයි.”
කාන්තා, ළමා හා තරුණ කටයුතු, ජාතික ඒකාබද්ධතා හා ජනමාධ්‍ය ඇමැති ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු නිලධාරින් ද ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් ද දරුවන් රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
සන්ධ්‍යා කරුණාරත්න
ඡායාරූප – වාසිත පටබැඳිගේ