Home » ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

by sachintha
October 2, 2024 3:00 am 0 comment

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

අදාළ පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ මූලික විරෝධතා පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් එම පෙත්සම ඉවත දමන ලදි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පත්කිරීමට එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර ඇත.

2021 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම සිදු කර තිබේ.

එම පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ සාමාජිකයන් එකොළොස් දෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, නීතිපතිවරයා ඇතුළු හත් දෙනකු පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය විසින් පෙත්සම පවත්වාගෙන යෑම කළ නොහැකි බවට මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කරන ලදි.

එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදු කළ අතර, ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පත්වීම් අභියෝගයට ලක් කළ නොහැකි බවට එම මූලික විරෝධතාව මඟින් පෙන්වා දී තිබිණි.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ මූලික විරෝධතාව පිළිගෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

නීතිඥ තුෂාරි ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥවරුන් වන චන්දක ජයසුන්දර, උපුල් කුමාරප්පෙරුම, විරාන් කොරයා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT