අනුරාධපුරය, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක ගොවීන් මෙවර යල කන්නයේ ඉපනැල්ලේ සිදු කළ මුං වගාවේ අස්වනු සාධාරණ මිලකට මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන බව ගොවීහු පවසති. මේ හේතුවෙන් ඔවුහු දැඩි අසරණභාවයට පත්ව සිටිති.
ඇතාකඩ, ඇටවීරගොල්ලෑව, ගලේගම ආදී ගම්මාන ගණනාවක ගොවීයෝ 40ක් පමණ මෙසේ ඉපනැල්ලේ මුං වගාවේ නිරත වී තිබේ. අක්කර 75ක පමණ කුඹුරු ආශ්‍රිතව සිදු කළ මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙළා ගැනීමට හැකිවූ බව ගොවීහු පවසති. නමුත් ඉපනැල්ලේ මුං වගාවේ නිරත වී ඇති ඇතාකඩ ගම්මානයේ කේ.එම්. කුලතුංග මහතා සිය අස්වැන්නට අත්ව ඇති ශෝචනීය ඉරණම පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
“කෘෂිකර්මේ මහත්වරු ඇවිල්ලා කිව්වා ඉපනැල්ලේ මුං ගොවිතැන් කරන්න කියලා. අපිත් අතින් වියදන් කරගෙන මුං වැපුරුවා. දැන් අස්වැන්න ගන්න කෙනෙක් නෑ. අපි කඩවලින් අහපුවහම කියන්නේ දැන් මුංවලට මිලක් නෑ, දැන්ම ගන්න බෑ කියලා. මේ අස්වැන්න එහෙම ලොකු කාලයක් ගෙදර තියාගන්න බෑ. ගුල්ලෝ ගහලා විනාශ වෙනවා. නිකන්ම ඉපනැල්ලේ මුං වැපුරුවට මේවා කරලින් කරල කඩල මේ තත්ත්වෙට ගේන්න ලොකු දුකක් විඳලා තියෙනවා. වියදමක් ගිහිල්ලා තියෙනවා. නිකන්ම මේ අස්වැන්න විනාශ වුණොත් මහා අපරාධයක්.”
අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙසේ ගොවීන් ඉපනැල්ලේ මුං වගාවට යොමු කිරීමට මූලික වී ඇති අතර, වගාව සඳහා අවැසි මුං බීජ ගොවීන් විසින්ම සපයාගනු ලැබ තිබේ. එසේ මිලට ගත් මුං බීජ සඳහා වැය වූ මුදල නැවත ප්‍රතිපූර්ණය කිරීමට පියවර ගන්නා බවට කෘෂිකර්ම නිලධාරීන් ගොවීන් වෙත පොරොන්දු වී තිබේ. එහෙත් එම මුදල් ද මෙතෙක් තමන් වෙත නොලැබුණු බව ගොවීහු පවසති. පුෂ්ප කැලුම් ජයතිලක මහතා ඒ පිළිබඳව පැවසුවේ මෙවැනි අදහසකි.
“අපිම සල්ලි දීලා ගත්ත මුං බීජ තමයි ඉපනැල්ලේ වැපුරුවේ. අපි මුං බීජ කිලෝ එකක් ගත්තේ රුපියල් 1000 ගානේ. කෘෂිකර්ම නිලධාරී මහත්වරු ඇවිල්ලා කිව්වේ බීජවලට යන වියදම ඒගොල්ලෝ දෙනවා කියලා. ඒ වෙලාවේ ඒගොල්ලෝ කඩදාසි වගයක් පුරෝගෙන ගියා. ඒත් දැන් මාස කීපයක් ගතවුණා. අපිට නම් තවම සත පහක්වත් හම්බ වුණේ නෑ.”
විවෘත වෙළෙඳපොළෙහි රුපියල් දහස ඉක්මවා මුං බීජ කිලෝවක් අලෙවි වන පසුබිමක සිය අස්වැන්න වෙත සාධාරණයක් ඉටු කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන බව ගොවීහු පෙන්වා දෙති. කෘෂිකර්ම නිලධාරීන් කිසිවකු ගොවීහු මුහුණ පා ඇති ගැටලුව කෙරෙහි සාවධාන නොවන බව ද ඔවුහු පවසති. එවැනි පසුබිමක සිය මුං අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කොට ගැනීමට මැදිහත් වන ලෙස මැදවච්චියේ ගොවීහු කෘෂි බලධාරීන් වෙතින් ඉල්ලීමක් කරති. සිය අස්වැන්නට අත්ව ඇති අභාග්‍යය පිළිබඳව ඇතාකඩ ගම්මානයේ එම්. අබේකෝන් මහතා පැවසුවේ මෙවැනි අදහසකි.
“නිලධාරීන් ඇවිල්ලා කියන කොට අපි අතින් වියදන් කරගෙන ගොවිතැන් කරනවා. ඒත් අවසානේ අපි අසරණ වෙනකොට කවුරුවත් නෑ. ඇත්තටම මිනිස්සුන්ට ගොවිතැන් කෙරිල්ල එපා වෙලා තියෙන්නේ මෙන්න මේ හින්දා. මුංවලට මිලක් නෑ කිව්වහම හරි පුදුමයි. වෙළෙන්ඳෝ හදන්නේ අපේ මහන්සිය තුට්ටු දෙකට ගන්න. මුං, කව්පි එහෙම හදන්න කිව්වට එතැනින් එහාට ඒ අස්වැන්නට මොකක්ද කරන්නේ කියන එක ගැන කාටවත් හරි අදහසක් නෑ. ගොවිතැනින් ජීවත් වෙන අපිට මෙහෙම කරදර වුණහම කොහොමද අපි ජීවත් වෙන්නේ. කවුරු හරි මැදිහත් වෙලා මේ අස්වැන්න සාධාරණ මිලකට විකුණගන්න උදව් කරන්න කියලා අපි ඉල්ලන්නේ.”
තඹුත්තේගම විශේෂ – ඩබ්. ප්‍රදීප්