වැලිපිටිය, ඉල්වත්ත අමුණ වසර ගණනාවක සිට අබලන්ව පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර පන්දහසකට ආසන්න ප්‍රමාණයක් පුරන්ව පවතින බව ප්‍රදේශයේ ගොවි ජනතාව පෙන්වා දෙති.
වැලිගම බලප්‍රදේශයේ පිහිටි ප්‍රධානතම ගංගාවක් වන පොල්අතු ගඟ ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ සිට ආරම්භ වී කනංකේ ප්‍රදේශය හරහා ගලා බැස වැලිපිටිය ඔස්සේ වැලිගම නගරයෙන් මුහුදට ගලා බසී. මෙම ගංගාව හරස් කොට වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිපිටිය ප්‍රදේශයෙන් ඉල්වත්ත අමුණ පිහිටා තිබේ. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වන අතර, 1950 වර්ෂයේදී පමණ ඉල්වත්ත අමුණ ඉදි කළ බව ගොවීහු පවසති. කෙසේ නමුත් මෙම ඉල්වත්ත අමුණේ දොරටු තුනක් පිහිටා තිබූ අතර, වසර ගණනාවක සිට එම දොරටු තුනම දිරාපත්ව පවතී.
කෙසේ නමුත් මෙම අමුණ යොදා ගනිමින් ඉල්වත්ත, කොක්මාදුව, ජඹුරගොඩ, පළල්ල, නුගදූව යාය ඇතුළු ප්‍රදේශ රැසකට අයත් කුඹුරු අක්කර පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අස්වද්දන බව ගොවීහු තවදුරටත් පවසති. එපමණක් නොව, මෙම ගඟ හරස් කොට වැලිපිටිය ප්‍රදේශයේ සහ කනංකේ ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘති දෙකක් ද ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා කරදිය බාධකයක් ලෙස (මුහුදු ජලය ගලා ඒම වළක්වා ගැනීම සඳහා) ප්‍රධාන වශයෙන් මෙම ඉල්වත්ත අමුණ යොදා ගැනීම සිදු කරන බවද ගොවීහු කියා සිටිති.
ඉල්වත්ත අමුණ අබලන් වීම හේතුවෙන් අධික වර්ෂාපතන අවස්ථාවේදී ගංගාවේ ජලය නිසියාකාරව බැස නොයාම නිසා මෙම ප්‍රදේශ අවට ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී තිබිණ. අනතුරුව මේ පිළිබඳව දිගින් දිගටම ප්‍රදේශයේ ජනතාව සහ ගොවි ජනතාව පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස ඉල්වත්ත අමුණේ දොරටු තුනක් කපා ඉවත් කරන ලදි. නමුත් මේ දක්වා අදාළ දොරටු තුන අලුත්වැඩියා කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ජනතාව වැඩිදුරටත් පවසති.
වැලිගම – අබේවික්‍රම ගුණරත්න