Home » ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ
මලල ක්‍රීඩාවේ අනාගත අපේක්ෂාවන් දිදුලයි

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ

-නව ශ්‍රී ලංකා වාර්තාවක් හා තරග වාර්තා 7ක්

by sachintha
October 2, 2024 1:14 am 0 comment

92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ දෙවැනි දිනය නිමාවෙද්දී නව ශ්‍රී ලංකා වාර්තාවක් හා තරග වාර්තා 8ක් බිඳ වැටිණි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ පැවති 18න් පහළ පිරිමි මීටර් 200 තරගයේදී වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ එස්.එම්.වී.එස්. රාජකරුණා තත්පර 21.52කින් නව ශ්‍රී යොවුන් ශ්‍රී ලංකා වාර්තාව බිහි කළ අතර, එම දක්ෂතාව හේතුවෙන් 2015දී කොළඹ ලුම්බිණි විදුහලේ චලිත් පියුමාල් තත්පර 21.87කින් තබා තිබූ යොවුන් ශ්‍රී ලංකා වාර්තාව බිඳ වැටිණි.

ඊයේ දිනයේ 18න් පහළ පිරිමි මීටර් 200 තරගයේ දෙවැනි ස්ථානය කඳාන සාන්ත සෙබස්තියන් විදුහලේ ජේ.ඕ.එස්. සිල්වා ද තත්පර 21.54ක වාර්තාගත කාලයක් එක් කළ අතර, තෙවැනි ස්ථානය තත්පර 22.11කින් කොළඹ සාන්ත ජෝසප් විදුහලේ සී. ඉමේෂ් දිනා ගත්තේය.

බිඳ වැටුණු නව තරග වාර්තා අතර 16න් පහළ මීටර් 800 පිරිමි ඉසව්වේදී මිනිත්තු 1:58.39කින් මාතර රහුල විදුහලේ එච්.ඩබ්ලිව්.එන්. විල්අද්දර පළමු ස්ථානයට පත්වෙමින් වාර්තාව බිහි කළේය. එම ඉසව්වේ දෙවැනි ස්ථානය මිනිත්තු 1:59.93කින් කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහලේ එම්.එච්.පී. ගුණතුංග හා තෙවැනි ස්ථානය මිනිත්තු 1:59.97කින් වලල ඒ රත්නායක විදුහලේ ආර්.ජී.එස්. රවිහංස දිනා ගත්තේය.

මීටර් 800 කාන්තා ඉසව්ව මිනිත්තු 2:10.15කින් නිමකළ ගම්පොළ වික්‍රමබාහු මහා විදුහලේ එම්.ජී.ටී. අභිෂේකා නව තරග වාර්තාවක් බිහි කළාය. එහි දෙවැනි ස්ථානය මිනිත්තු 2:17.00කින් නිමකළ හැටන් අඹගමුව මධ්‍ය මහා විදුහලේ යූ.එම්.එස්. හිමාෂානී දිනාගත් අතර, තෙවැනි ස්ථානය මිනිත්තු 2:18.65කින් නිම කළ මොරටුව වේල්ස් කුමරි විදුහලේ එෆ්.එච්. මුතාලිෆ් දිනා ගත්තාය.

18න් පහළ මීටර් 800 පිරිමි ඉසව්වේ නව වාර්තාවක් මිනිත්තු 1:53.66කින් බිහි කිරීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ එච්.ඩී.එස්. අවිශ්ක සමත් වූ අතර, දෙවැනි ස්ථානය මිනිත්තු 1:54.92කින් වීරකැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ එන්.ඩී. ලියනගේ හා තෙවැනි ස්ථානය මිනිත්තු 1:55.03කින් කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහලේ ඔෂධ ජයමාන්න දිනා ගත්හ.

16න් පහළ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව මීටර් 40.01කින් නිම කළ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ කේ.බී.බී. ෂහේලී නව වාර්තාවක් බිහි කළ අතර, එහි දෙවැනි ස්ථානය ගාල්ල ශ්‍රී පති විදුහලේ ඩබ්ලිව්.ඒ. හිමංෂි මීටර් 30.28නි හා තෙවැනි ස්ථානය කුරුණෑගල ආරක්ෂක සෙම්වා විදුහලේ ටී.එච්. රණසිංහ මීටර් 30.25කින් දිනා ගත්තාය.

20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ නව වාර්තාවක් තත්පර 52.14කින් බිහි කිරීමට හැටන් අඹගමුව මධ්‍ය මහා විදුහලේ ඒ. අකලංක සමත් වූ අතර, දෙවැනි ස්ථානය තත්පර 53.04කින් මීගමුව මාරිස්ටෙලා විදුහලේ එම්. රොෂේන් හා තෙවැනි ස්ථානය තත්පර 53.35කින් මාතර රාහුල විදුහලේ එස්.ජේ.ඩී. සංකල්ප සමත් වූහ.

16න් පහළ කාන්තා දුර පැනීමේ ඉසව්ව මීටර් 6.12කින් නිමකළ වත්තල ලයිසියම් විදුහලේ දිල්නි රාජපක්ෂ නව තරග වාර්තාවක් බිහි කළ අතර, දෙවැනි ස්ථානය මීටර් 5. 27කින් දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ ඩබ්ලිව්.එස්. නෙහාරා මීටර් 5.27කින් හා තෙවැනි ස්ථානය දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ ඩබ්ලිව්.ඊ. ෂෙහාරා මීටර් 5.26කින් දිනා ගත්හ.

18න් පහළ කාන්තා උස පැනීමේ ඉසව්ව මීටර් 1.69කින් නිමකළ දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ පී.එන්. සමාධි නව වාර්තාවක් බිහි කළ අතර, දෙවැනි ස්ථානය මීටර් 1.61ක දක්ෂතාවකින් පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ පී.එල්.එස්. උපේක්ෂා හා තෙවැනි ස්ථානය මීටර් 1.61කින් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එස්. ජයසුන්දර දිනාගත්හ.

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගත අපේක්ෂාවන් බිහි කරන ශූරතාවලියක් බවට පත්ව ඇති අතර, අද එහි තෙවැනි දිනයයි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT