Sunday, May 11, 2025
Home » ‘දක්ෂතා දැක්වූ පමණින් සෑහීමකට පත් නොවී දවසින් දවස ඉගෙනගෙන ඉහළට යන්න’

‘දක්ෂතා දැක්වූ පමණින් සෑහීමකට පත් නොවී දවසින් දවස ඉගෙනගෙන ඉහළට යන්න’

by sachintha
October 2, 2024 1:33 am 0 comment

ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සුරතට ගත් ලෝක ළමා දිනයදා වෙල්ලාලගේගෙන් පණිවිඩයක්

පාසල් වයසේ පසුවන ක්‍රීඩකයෙක් දක්ෂතා දැක්වූ පමණින් සෑහිමකට පත් නොවී දවසින් දවස ඉගෙනගෙන ඉහළට යෑම ඉලක්ක කර ගත යුතු බව පසුගිය අගෝස්තු මාසයේ ලොව හොඳම අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් දුනිත් වෙල්ලාලගේ පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමි අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඊයේ ලෝක ළමා දිනය දා ඔහුගේ සුරතට හිමිවීම විශේෂ සිද්ධියක් වූ අතර, අගෝස්තු මාසයේ ලොව හොඳම අයිසීසී ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රම මේ වනවිට ඩුබායිහි කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටී.

“මේ තත්ත්වයට එන්න මා ගොඩක් කැපවීම් කළා. පුහුණුවීම් හරියට නියමිත සැලසුමක් අනුව කරන්න අවශ්‍යයි. ඒ වගේම පිට්ටනියට ගියාම සියයට සියයක් කණ්ඩායමට දායකත්වය ලබාදිය යුතුයි. ප්‍රැක්ටිස් එකයි කණ්ඩායමට දෙන කැපවීමයි එකතු වුණාම දන්නේම නැතිව දියුණු වෙනවා. මොන දක්ෂතා දැක්වූවත් දැන් හරි කියලා සෑහීමකට පත්වෙන්න හොඳ නෑ. දවසින් දවස ඉගෙන ගන්න ඕනෑ. ජ්‍යෙෂ්ඨයන්ගෙන් වෙන්න පුළුවන්. තමන්ගේ වයසේ අයගෙන් වෙන්න පුළුවන්. පොඩි ක්‍රීඩකයෙක්ගෙන් වෙන්නත් පුළුවන්. ලබා ගන්නා අත්දැකීම් ක්‍රීඩාවට වැදගත් වෙනවා” දුනිත් වෙල්ලාලගේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ අවස්ථා ලබාදී තිබෙනවා. පාසල් මට්ටමේ සිට ජාතික තලය දක්වා ඕනෑ තරම් ක්‍රිකට් තරග තියෙනවා. නැඟී එන ක්‍රීඩකයෝ එක දිගට දක්ෂතා දැක්වුවහොත් සුදුස්සාට අද සුදුසු තැනට යන්න දොරටු විවර වෙලා තියෙනවා” වෙල්ලාලගේ පැවසීය.

පාසල් කාලයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වූ අවසන් ක්‍රිකට් ක්‍රීඩකයා වීමේ ගෞරවය දුනිත් වෙල්ලාලගේට හිමි වේ. මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි වෙල්ලාලගේ පසුව කොළඹ සාන්ත ජෝෂප් විදුහලට ක්‍රීඩා කළේය. පාසල් වයසේදීම දිස්ත්‍රික් හා පළාත් කණ්ඩායම්වලට ක්‍රීඩා කළ ඔහු 2022දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත්වී ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළේය. එම වසරේදීම ඔහු ජාතික පිලේ ටෙස්ට් හා එක්දින වරම් දිනා ගත්තේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT