Home » වංචාව දූෂණය නතර කළොත් අපිට විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්

වංචාව දූෂණය නතර කළොත් අපිට විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්

-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ

by sachintha
October 3, 2024 3:18 am 0 comment

 

විශාල බල පෙරළියක් සමඟ අනුර කුමාර දිසානායක මහතා මෙරට විධායක ජනපති ධුරයට පත්වන්නේ රට අර්බුදකාරි වතාවරණයක ගිලී පවතිත්දී ය. පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීමට ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග මොනව ද, මෙතෙක් කල් පැවති පාලනයෙන් වත්මන් පාලනය වෙනස් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ, ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

අපේ රටට නිවැරදි පාලන කළමනාකරණයක් අවශ්‍යයි

දේශපාලනඥයින් කොමිස් ඉල්ලපු නිසා හැරී ගිය ආයෝජකයෝ යළි රටට එනවා

අද වන විට රටේ විශාල පරිවර්තනයක් සිදු වෙමින් තිබෙනවා

නව පාලන වෙනස සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මේ රට විශාල ලෙස සම්පත් තිබෙන රටක්. පාලකයින් ඒ සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ කියන එක හැමෝම පිළිගන්න දෙයක්. නිදහසින් පසු තට්ටුමාරු ක්‍රමයට බලයට පැමිණි පාලකයින් මැතිවරණ කාලයක් පැමිණි විට නොයෙක් බොරු පොරොන්දු දෙමින් තමන්ගේ බලය තහවුරු කර ගත්තා. පාලකයින් ලෙස ප්‍රශ්න ඇති කරපු අයම විපක්ෂයට ගොස් නැවත බලයට ආවේ ප්‍රශ්නවලට විසඳුම් දෙන බව කියමිනුයි. මේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා කියමින් තමන්ගේ ඡන්දය ඉල්ලන්නේ ප්‍රශ්න ඇති කළ අයම බව ජනතාව පහුගිය ජනපතිවරණය වන තෙක්ම තේරුම් ගත්තේ නැහැ. ඇත්තටම මේ රට වෙනස් කරන්න ඕන කියන බලාපොරොත්තුවට පණ දීමක් තමයි අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයත් සමඟ සිදු වුණේ. අපේ රටට නිවැරදි පාලන කළමනාකරණයක් අවශ්‍යයි. නව ජනපතිවරයාගේ වගකීම තමයි ඒ පාලන කළමනාකරණය රටේ ස්ථාපිත කිරීම.

පාලන කළමනාකරණය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

රාජ්‍යයක තිබෙන සියලුම සම්පත් පුරවැසියන්ගේ සෞභාග්‍යය සතුට වෙනුවෙන් යොදවන එක තමයි පාලන කළමනාකරණය කියන්නේ. 1948 ඉඳලා අපේ රට අද වන විට බංකොලොත් වෙලා තියෙන්නේ පාලන කළමනාකරණයක් නොතිබූ නිසයි. ඒ වෙනුවට පැවතුණේ නව පාලන කළමනාකරණයක්. බංකොලොත්භාවයට පත් වූ රටක් තමයි අනුර කුමාර දිසානායක මහතාට ලැබුණේ. එක පැත්තක ඉන්න අය දෙපිළකට බෙදිලා එකිනෙකාට චෝදනා කරමින් තට්ටු මාරු ක්‍රමයට ජනතාවගේ ඡන්දය දිනා ගැනීම තමයි මෙතෙක් කල් රටේ සිද්ධ වුණේ. මේ රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉතාම පහළ මට්ටමකයි තිබෙන්නේ. පාලන කළමනාකරණය සම්බන්ධයෙන් අදහසක් හෝ ජනතාවට නැහැ. රැකියාවක්, ස්ථානමාරුවක්, උසස් වීමක්, ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමක් වගේ පෞද්ගලික කාරණා මුල් කරගෙන තමයි ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ. රට බංකොලොත් නොවන්නට ජනතාව මේ යථාර්ථය තේරුම් ගන්නේ නැහැ. පෞද්ගලික අවශ්‍යතා පසෙකට දමා පොදු අරමුණක් වෙනුවෙන් ජනතාව මේ ආකාරයට සංවිධානාත්මකව තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

ඔබ පවසන ආකාරයට පාලන කළමනාකරණයේ දී වඩා වැදගත් වන්නේ නිවැරදි තීරණ ගැනීම නේද?

ඔව්. ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව නිවැරදි තීරණයක් ගත්තා. රට බංකොලොත් කළ අයටම නැවත රට භාර දී ප්‍රශ්නවලට විසඳුම් සොයනවාද නැත්නම් අලුත් කණ්ඩායමකට බලය දෙනවාද කියන තීරණය තමයි ජනතාවට ගන්න තිබුණේ. පුරවැසියෝ විදිහට ජනතාව නිවැරදි තීරණයක් ගත්තා. දැන් තිබෙන්නේ පාලකයින් නිවැරදි තීන්දු ගැනීමයි. මේ තීරණ ගන්න අයට මානව සුදුසුකම් තිබිය යුතුයි. සෑම පුද්ගල ජීවිතයකටම වටිනාකමක් දීම ඉතාම වැදගත්. ඊළඟට ජනතාව සතු සම්පත් සුරක්ෂිත කිරීම. ජනතාව රැවටීමට ලක් නොකිරීම පාලන කළමනාකරණයේ තවත් වැදගත් කාරණයක්. රටක අනාගතය කියන්නේ තරුණයෝ. කොරියාව වෙනස් වුණා. සිංගප්පූරුව, මැලේසියාව වෙනස් වුණා. ඒකට මුලපිරුවේ තරුණයෝ. ඉන්දියාවත් දැන් තරුණයින්ගේ බලපෑම නිසා වෙනස් වෙමින් යනවා. නමුත් අපේ රටේ කළේ වෙනසක් වෙනුවෙන් පෙනීසිටි තරුණයින්ව තළාපෙළා විනාශ කර දැමීමයි. 1971, 88-89, තිස් අවුරුදු යුද්ධය සැලකුවොත් මේ සියල්ලේදීම තරුණ ජවය විනාශ කර දැම්මා. හමුදාව පැත්තේ හිටියත් ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ හිටියත් පෙරට ආව තරුණයෝ තමයි ඝාතනය වුණේ. ඇත්තටම මේ රට මෙතරම් පහළට වැටුණේ තරුණයිනට එරෙහි වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඩී.එස්. එයාගෙන් පස්සේ පාලන බලය දෙන්න යෝජනා කරන්නේ පුතාට. බණ්ඩාරනායක සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරනවා. ඊට කලින් 1943 දී මේ යෝජනාව මුලින්ම ගේන්නේ ජේ.ආර්. ඒ වෙලාවේ ඩී.එස්. ඒකට ඉඩ දෙන්නේ නැහැ. බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසුව ඔහුගේ බිරිය දේශපාලනයට එනවා. මේ ආකාරයෙන් වර්ධනය වූ දේශපාලන පවුල්වලින් බලයට පැමිණි පාලකයින්ට මානව සුදුසුකම් තිබුණා නම් ඇත්තටම 1971 කැරැල්ලක්, 88-89 තරුණ නැඟිටීමක් වෙන්නේ නැහැ. වෙනම රාජ්‍යයක් ඉල්ලා උතුරේ තරුණයෝ යුද්ධ කරන්නෙත් නැහැ. අරගලයක් ඇති වෙන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්න ඕන.

කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ව්‍යුක්තව පසුගිය ජනපතිවරණයේදී ජනතාව ඡන්දය පාවිච්චි කළ ස්වභාවයක් දක්නට ලැබෙනවා නේද ?

මිනිස්සු සාම්ප්‍රදායික දේශපාලනයෙන් ව්‍යුක්ත වෙලා. රටක් විදිහට අපි ගොඩනැඟෙන්න ඕන කොහොමද කියලා මිනිස්සු හිතන්න පටන් අරන්. තමන්ගේ පෞද්ගලික වාසිය ගැන නොසිතා පොදු යහපත කියන සංකල්පය තුළට මේ රටේ ජනතාව ගොනු වූ ස්වභාවයක් ඡන්ද ප්‍රතිඵලය මඟින් අපිට පෙන්වා දෙනවා. එය ඉතාම යහපත් තත්ත්වයක්. මෙතෙක් කල් සිටි පාලකයින් ඡන්ද ව්‍යාපාරය තුළ කියන දේ ජයග්‍රහණයෙන් පසු මුළුමනින්ම අමතක කර කටයුතු කළා. එහෙත් මේ රටේ ජනතාව අනුර දිසානායක තුළින් එවැන්නක් කිසිසේත් අපේක්ෂා කරන්නේ නැහැ. කියපු දේවල් කරන එක ඇත්තටම පවතින ආර්ථික පසුබිම තුළ ඒ ආකාරයෙන්ම සිදු කිරීම අභියෝගයක්. මම විශ්වාස කරන්නේ ඔහු මේ අභියෝගය ජය ගනිමින් ඉන්නවා කියන එකයි.

ජනපතිවරණයේදී උතුරු නැඟෙනහිර බහුතර කැමැත්ත අනුර කුමාර දිසානායක මහතාට ලැබුණේ නැහැ. මහමැතිවරණයේදී ඔවුන් දිනා ගැනීමත් අභියෝගයක් නේද?

උතුරේ සහ නැඟෙනහිර ජනතාව අනුර කුමාරට ඡන්දය දෙන්න බියක් දැක්වූවා. ජාතිවාදී දේශපාලන කණ්ඩායම් සැලසුම්සහගතව මේ භීතිකාව නිර්මාණය කර තිබුණා. මේ ජනතාව අතර තිබෙන සැකය දුරු කිරීම ඉතා වැදගත්. එහි දී සිංහල, දෙමළ, මුස්ලිම් බුද්ධිමතුන්ට සුවිශේෂි කාර්යභාරයක් පැවරෙනවා. උතුරේ ජනතාව අතර ඉන්නවා රටේ ආණ්ඩුව කොළඹ ආණ්ඩුව කියලා හිතන. මෙන්න මේ පරතරය අපි නැති කළ යුතුයි. ජාතීන් ලෙස බෙදී රටක් දියුණු කරන්න බැහැ. ජනපතිවරණයේදී අනුරට ලැබුණු උතුරු නැඟෙනහිර ඡන්ද එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම්වල බලපෑමක් නිසා ලැබුණු ඒවා නොවෙයි. දෙමළ සන්ධානය කිව්වේ සමගි ජන බලවේගයට ඡන්දය දෙන්න කියලා. ඩග්ලස් දේවානන්ද වැනි අය රනිල් සමඟ වැඩ කළා. මම හිතන්නේ උතුරේ දේශපාලන පක්ෂ විසින් කරන බලපෑමට නතු නොවී ඒ ජනතාවට ස්වාධීනව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතු බවයි. අනුර මේ රටේ ඡන්දදායකයා සමඟ ගනුදෙනුවක් කළේ නැහැ. ඔහු වටා ජනතාව එකතු වුණේ වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවන්නයි. මෙවර ජනපතිවරණයේදී අනුරට වෙනදාට වඩා මුස්ලිම් හා දෙමළ ඡන්ද ලැබුණා. ඒක මේ රටේ ජාතික හා ආගමික සහජීවනය ගොඩනඟන්න විශාල ශක්තියක්. දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයින්ගේ ඩීල්වලින් තොරව මේ ලැබුණු පිරිසිදු ඡන්ද ගොඩ තවත් වැඩිකර ගැනීම අනාගතයේ මේ රට ගමන් කරන දිශානතිය තීරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා ඉතා වැදගත් වෙනවා.

මට ඡන්දය නොදුන් අය ඒ පිළිබඳව කනගාටු වනවා නම්, එය තමන් ලබන ජයග්‍රහණයක් බව ජනපතිවරයා පැවසුවා?

අද වන විට රටේ විශාල පරිවර්තනයක් සිදු වෙමින් තිබෙනවා. මීට කලින් ජනපතිවරුන්ට ජනතාව කිව්වේ ආරක්ෂාවට ඇයි මෙතරම් පිරිසක් කියලා. නමුත් අද ජනතාව අනුරට කියන්නේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න කියලා. තමන් පත්කර ගත් පාලකයා රැක ගත යුතුයි කියලා ජනතාව දැන් හිතන්න පටන් අරන්. ඒ තමන්ගේ සිතුම් පැතුම් ඔහු විසින් ඉටු කරයි කියන දැඩි විශ්වාසය ජනතාව තුළ තිබෙන නිසයි. දැන් බලන්න තානාපති සේවයේ ඉඳලා තියෙන වැඩි පිරිසක් මැති ඇමැතිවරුන්ගේ ඥාතීන්. අනිත් පැත්තෙන් අධිසුඛෝපභෝගි වාහන තමන්ගේ හිතවතුන්ට හිතුමතේ පාවිච්චි කරන්න දීලා. ලෝකයම පිළිගන්න අත්දැකීම් සහිත පරිණත පුද්ගලයෙක් විදිහට හඳුන්වාදීපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට උපදෙස් දෙන්න මොන තරම් නම් පිරිසක් ඉඳලද ? ජනතාව දුක් විඳිද් දී පාලකයින් සුරසැප විඳිනවා නම් ජනතාව නැගී සිටීම වරදක් ද ? මම හිතන්නේ ජනපතිවරණයේදී ඡන්දය නොදුන් අතිවිශාල පිරිසක් මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට තමන්ගේ චන්දය ලබාදෙනු ඇති බවයි.

ඉදිරියේදී ණය ගෙවීම ආරම්භ කරනවිට යළිත් රට අර්බුදයකට යාමේ ඉඩක් පවතිනවා ද?

වංචාව දූෂණය නතර කළොත් අපිට විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් බදු ගෙවීම් පැහැර හැරීම නිසා රජයට ලැබෙන ආදායම් විශාල ලෙස ඇනහිට තිබෙනවා. අනවශ්‍ය වියදම් පාලනය තුළින් ද සැලකිය යුතු මුදලක් අපිට ඉතිරි කර ගැනීමට පුළුවන්. විදේශ ණය ගෙවීම සම්බන්ධව කතා කළොත් ඒ සඳහා අපට ඩොලර් අවශ්‍ය යි. විදේශ රැකියාවල නිරත විශාල පිරිසක් දැන් රටට මුදල් එවන්න පටන් අරන්. ඒ එවන මුදල්වලට පෙරළා ප්‍රතිලාභයක් රටට ලැබෙන බවට ඒ අයට විශ්වාසයි. අනිත් පැත්තෙන් දේශපාලනඥයින් කොමිස් ඉල්ලපු නිසා හැරී ගිය ආයෝජකයෝ යළි රටට එනවා. මේ තුළ අපිට අපේ විදේශීය සංචිත ප්‍රමාණය ණය ගෙවීමට හැකි තත්ත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා.

 

අසේල කුරුළුවංශ

ඡායාරූප – රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT