Thursday, May 8, 2025
Home » සැමට සමානව සහභාගි විය හැකි ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න

සැමට සමානව සහභාගි විය හැකි ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න

by sachintha
October 3, 2024 2:02 am 0 comment

ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදී සමාජවාදී ජනරජයේ 16 වන අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරීම අතිශයින්ම පැසසිය යුතු කරුණකි. ඇය එම ගරු කටයුතු තනතුරට පත් වූ තෙවන ශ්‍රී ලාංකික කාන්තාව වන අතර, පවුල් සම්බන්ධතා මත පමණක් කාන්තාවන්ට දේශපාලනයට ඒමට ඉඩකඩ සැලසෙන දකුණු ආසියානු සංස්කෘතිය වෙනස් කරමින්, මේ කළ පත්වීම සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් වන්නේ, ඇයට එවන් පසුබිමක් නැති නිසයි. ඒ නිසාම, මේ පත්වීම සියලු කාන්තාවන් දිරිමත් කිරීමට ඔවුන් තුළ බලාපොරොත්තු ඇති කිරීමට ඉවහල් වේ. මහමැතිවරණයෙන් පසුවද ආචාර්ය අමරසූරිය, අගමැතිනිය ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඇගේ නායකත්වය, යුක්තිය, සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය රජයන අනාගත සමාජයක් පිළිබඳව අපේ බලාපොරොත්තු දල්වන බව සඳහන් කරනු කැමැත්තෙමු.

එසේම, මෙම මැතිවරණ ජයග්‍රහණය ද සියලු ජාතීන්ට අයත් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත ජනතාවට ඔවුන්ගේ සිහින හඹා යෑමට දිරිය දෙන බව නොකියාම බැරිය. ශ්‍රී ලාංකික කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රය හැර සියලු ක්ෂේත්‍රයන්හි මේ වන විට තම සලකුණ තබා ඇති අතර, දූෂණය, දේශපාලන අනුග්‍රාහකත්වය හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාන සහභාගිත්වයක් ඇති සමාජයක් ඇති කිරීමට දරන උත්සාහයට අවම වශයෙන් 50% ක කාන්තා දායකත්වයක් ලබාගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන්ම, එළඹෙන මහමැතිවරණයට තරග කිරීම සඳහා අවම වශයෙන් 50%ක ඉඩකඩක් කාන්තාවන්ට ලබාදීමෙන්, පක්ෂයේ සහ රජයේ ප්‍රධාන තනතුරුවලට සුදුසුකම් ඇති කාන්තාවන් පත් කිරීමෙන් තේරීම් කමිටු, ආසන සංවිධායක, මාධ්‍ය ප්‍රකාශක වැනි තනතුරුවලට කාන්තාවන් නම් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ගැහැනු හා පිරිමි සියල්ලන්ටම සමානව සහභාගි විය හැකි ඉඩකඩක් ඇති කරන ලෙස අපි නව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

පරිවර්තන ක්‍රියාදාමය

ආර්ථික, දේශපාලන සහ සමාජමය වෙනස්කම් ඇති කිරීම සම්බන්ධයෙන් ඡන්දදායකයින් ජනපතිවරයා වෙත තබා ඇති බලාපොරොත්තු සුවිසල් බවද අපි දනිමු. එහෙත් ජනගහනයෙන් හරි අඩකට වඩා වන කාන්තාවන් මෙරටේ සමාජ පරිවර්තන ක්‍රියාදාමයට සමව දායක නොවන්නේ නම්, ජනගහනයෙන් අඩක් සමව දායක නොවන ගමනක් අපේක්ෂිත පූර්ණ ප්‍රතිඵල ලබා නොදෙනු ඇති බව අපි විශ්වාස කරමු.

පවතින ආර්ථික අර්බුදය හා ඉතා ගැඹුරට විහිදී ඇති දූෂණය විසින් රට තුළ ව්‍යුහාත්මක වෙනසක් ඉල්ලා සිටියි. මේ වෙනසේ මූලික අවශ්‍යතාවයක් ලෙස දකින්නේ ද විධායකයේ සහ ව්‍යවස්ථාදායක ක්‍රියාදාමයේදී සමාන කාන්තා දායකත්වයක් ඇති කිරීමයි. ඒත්, සාම්ප්‍රදායික බාධක මෙන්ම විවිධ ගැටුම් නිසා ඇති වූ සමාජ විෂමතාවයන් ද කාන්තාවන් විශේෂයෙන්ම සංඛ්‍යාත්මක සුළුතර ජාතීන් හා ආගම්වලට අයත් කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඇති දොරටු අවහිර කරයි. කාන්තාවන්ට සුවිශේෂ වූ මේ තත්ත්වයන් පිළිබඳව ආචාර්ය හරිනි අමරසූරියට දීර්ඝ කාලීන අවබෝධයක් තිබෙන බැවින් ඇගේ සහයද ඇතිව, 50% ක කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරමු.

ස්වාභාවික සම්පත් පරිපාලනය

එසේම, ඉතාම ඉක්මනින් ප්‍රාදේශීය සභා සහ පළාත් සභා ඡන්ද පැවැත්වීමට කටයුතු කරන ලෙසද බලාපොරොත්තු වෙමු. නව ජනපතිගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් ආකාරයට සියලු ජාතීන්ට සමානව සැලකීමේ පොරොන්දුව අනුව යමින් වසර 15කට වැඩි කාලයක් තිස්සේ සංඛ්‍යාත්මක සුළු ජාතීන් විසින් ඉල්ලා සිටින, තමාගේ ප්‍රදේශවල ඇති ස්වාභාවික සම්පත් පරිපාලනය කිරීමේ හැකියාව සහ අයිතිය එම පළාතේ වැසියන්ටම ලැබෙන, වගකීම්සහගත පරිපාලන යන්ත්‍රණයන් ඇති කිරීමේ හැකියාව ඒ අනුව ලැබෙනු ඇත. දැනට ඇති නීතිය අනුව ප්‍රාදේශීය සහ පළාත් මට්ටම් දෙකේදීම 25% කාන්තා නියෝජනයක් ලැබෙන අතර, මහමැතිවරණයට පසුව ලැබෙන ආසන්නම අවස්ථාවේදී මෙම මැතිවරණද පවත්වන ලෙස ඉල්ලා සිටිමු. එසේ කිරීමෙන්, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේදී තරුණ, කාන්තා සහ ආන්තික ප්‍රජාවන්ට නිසි ලෙස දායක විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සකස් කළ හැකි බව පුරවැසි අපගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතා කරන ජන කොටස් දශක ගණනාවක් තිස්සේ අත්විඳින කටුක අත්දැකීම්වලින් මුදාගත හැකි සියලු පුරවැසියන්ට සමානව සලකන, අගය කරන, ගරු කරන රටක් ඇති කිරීමට ඔබේ නායකත්වය යටතේ හැකි වනු ඇතිය යන්න අපේ ඒකායන ප්‍රාර්ථනයයි. නව ව්‍යවස්ථාවක් සෑදීමේ ක්‍රියාමාර්ගය, ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ ලෙසම ඉදිරියට ගෙනයෑම, සැමට සමව සලකන රටක් ඇති කිරීමට ඇති සුදුසුම ගමන් මාර්ගයයි. ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන මහජන නියෝජිතයින්ගේ කමිටුව නියෝජනය කළ, ක්‍රියාකාරී සාමාජිකාවක් වූ නව අගමැතිනියට ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාන්තාවන්ගේ බලාපොරොත්තු, විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවෙන් පිට සිටින කාන්තාවන්ගේ බලාපොරොත්තු පිළිබඳව අවබෝධයක් ඇති බව අපගේ හැඟීමයි. මෙම කාර්යයේදී ද ඇගේ දායකත්වය ජනාධිපතිවරයාට ශක්තියක් වන බව අපගේ විශ්වාසයයි.

කනකා අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT