Home » ආබාධිත වුවත් සාමාන්‍ය පෙළ හොඳින් සමත් දසුන්ට වැඩිදුර ඉගෙන ගන්න උදව් කළොත් පිනක්

ආබාධිත වුවත් සාමාන්‍ය පෙළ හොඳින් සමත් දසුන්ට වැඩිදුර ඉගෙන ගන්න උදව් කළොත් පිනක්

by sachintha
October 3, 2024 1:59 am 0 comment

 

උපන්දා සිට ආබාධිත තත්ත්වයත් හේතුවෙන් ඇවිදීමට නොහැකි බළන්ගොඩ මැද්දෙකන්ද පාසලේ ඉගෙනුම ලබන වයි.ඒ. දසුන් ගිම්හාන සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමත් වී ඇත.

බළන්ගොඩ සිතිගල ප්‍රදේශයේ පදිංචි මේ සිසුවාට ඇවිදීමට නොහැකිවීම හේතුවෙන් සිය පියා විසින් වසර 11ක පමණ කාලයක් පාසල වෙත උස්සාගෙන ගොස් මේ ජයග්‍රහණය ලබාදීමට කටයුතු කර තිබේ. මේ දරුවාට උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට කිලෝමීටර් දොළහක පමණ දුරකින් ඇති බළන්ගොඩ නගරයේ පාසලකට යෑමට සිදුව තිබෙන අතර ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සහ මුදල් වියදම් කිරීමට නැති නිසා මේ දරුවා තවත් අසරණ වී සිටී.

ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වයි.ඒ. දසුන් ගිම්හාන සිසුවා මෙසේ පැවැසීය.

මම උපන්දා සිට ආබාධිතයි. මට ඇවින්න බැහැ. තාත්තා තමයි අවුරුදු 11ක් තිස්සේ මාව පාසලට උස්සගෙන එක්කගෙන ගියේ, ආවේ. මම සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් නවයම A සාමාර්ථ 2 , B සාමාර්ථ 3ක් සහ C සාමාර්ථ 4 ක් ලබාගෙන හොඳින් සමත් වුණා. මම උසස් පෙළ වාණිජ්‍ය සමඟ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයෙන් හැදැරීමට තෝරාගෙන තිබෙනවා. අනාගතයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන්න තමයි මගේ ආශාව. මට උසස් පෙළ හැදැරීමට බළන්ගොඩ නගරයේ ඇති පාසලකට ඇතුළු වෙන්න ඕනෑ. නිවසේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරකින් තමයි නගරයේ පාසල තිබෙන්නේ. මගේ අම්මයි, තාත්තයි දැන් ගොඩක් අසනීප තත්ත්වයෙන් සිටින්නේ. කුලී වැඩ කරලා තමයි ජීවත් වුණේ. දැන් වැඩක් කරන්න බැහැ. මම උසස් පෙළ පාසලකට එක්කගෙන යන්න තාත්තටත් දැන් බැහැ. මුදල් අගහිඟකම් විශාලයි. මට උසස් අධ්‍යාපනය ලබන්න උදවු කරන්න කැමති කවුරුන් හෝ ඉන්නවනම් ලොකු පිනක්.”

දසුන් ගිමිහාන සිසුවාගේ පියා විමලසේන සහ මව පත්මලතා යන අය පැවසුවේ මේ වනවිට දරුවා පාසලට රැගෙන යෑමට කිසිවකුත් නැති බවයි. වියදම් කිරීමට මුදල් අගහිඟකම් පවතින බව ද ඔවුහු කියති. නිවස අසල සිට පාසලට වාහනයක නංවා දරුවා රැගෙන ගිය ද පාසල ඇතුළට කවුරුන් හෝ උස්සාගෙන යා යුතු බව ද ඔවුහු කියති. දරුවාට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමට මුදල් ආධාර හෝ දරුවා පාසලට යැවීමට ප්‍රවාහන පහසුකම් හෝ ලබාදෙන්න පුළුවන් කවුරුන් හෝ සිටීනම් 077406 8551 හෝ 0763243451 දුරකතන අංකවලට කතා කරන ලෙස මව්පියෝ ඉල්ලා සිටිති.

බළන්ගොඩ ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 2270938ට මුදල්මය ආධාර බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT