Saturday, May 10, 2025
Home » ලංගමට යළි රමාල් සිරිවර්ධන

ලංගමට යළි රමාල් සිරිවර්ධන

by sachintha
October 3, 2024 2:59 am 0 comment

ශ්‍රී ලංගම ඉතිහාසයේ කීර්තිමත් සභාපතිවරයකු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර ඇති රමාල් සිරිවර්ධන මහතා නැවතත් ලංගම සභාපති ලෙස ඇමැති විජිත හේරත් මහතා විසින් පත් කරනු ලැබීය.

අනිල් මුණසිංහ යුගයෙන් පසු ලංගම ඉතිහාසයේ නොමැකෙන චරිතයක් බවට පත්ව සිටින රමාල් සිරිවර්ධන මහතා නැවතත් ලංගම සභාපති ලෙස පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධන මහතාට ලබාදී තිබේ.

රමාල් සිරිවර්ධන මහතා පළමුවරට ලංගම සභාපතිවරයා ලෙස පත්වන්නේ 1994 වර්ෂයේදී ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය ප්‍රවාහන ඇමැතිනිය ලෙස සිටියදීය. 2001 වසර දක්වා ලංගම සභාපතිවරයා ලෙස සේවයේ නිරතව සිටි රමාල් සිරිවර්ධන මහතා 2006 හා 2007 යන වසරවලදී ලංගම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ. නැවතත් රමාල් සිරිවර්ධන මහතා වැටුණු ලංගමය ගොඩගැනීමට ඉදිරිපත් වන්නේ 2015 වසරේදීය. ඒ වන විට දිගින් දිගටම පාඩු ලබමින් තිබුණු ලංගමය ලාභ ලබන තැනට පත් කරමින් සේවක පාරිතෝෂික පවා ගෙවන තැනට පත් කරන්නට ඔහු සමත් විය. රමාල් සිරිවර්ධන මහතා 2019 වසර දක්වා ඒ වන විට ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු 2017, 2018 සහ 2019 යන වසර තුන තුළ ලංගමය ලාභ ලබන තැනට පත්කර තිබිණි. රමාල් සිරිවර්ධන මහතා ලක්බිම පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස ද එහි ප්‍රධාන විධායක ලෙස ද කටයුතු කර ඇති අයෙකි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන රමාල් සිරිවර්ධන මහතා ගම්පහ ගෝතමී විද්‍යාලයේ ද ආදි ශිෂ්‍යයෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ද රමාල් සිරිවර්ධන මහතා කටයුතු කර ඇත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT