Home » ‘දුම්බර හරිත ස්වර්ණ උදක පූජාව’ ස්වර්ණමාලී මහ සෑ රදුන් අභියස දී

‘දුම්බර හරිත ස්වර්ණ උදක පූජාව’ ස්වර්ණමාලී මහ සෑ රදුන් අභියස දී

by yasara
October 3, 2024 1:34 pm 0 comment

වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය (GCF Knuckles Project) මඟින් සංවිධානය කරන දුම්බර හරිත ස්වර්ණ උදක පූජාව එළඹෙන ඔක්තෝම්බර් මස 11 දින, සවස 3.00 සිට, අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී මහ සෑ රදුන් අභියස පැවැත්වීමට පියවර ගෙන තිබේ.

පුරාතන රජ දරුවන් විසින් සම්ප්‍රදායිකව පවත්වාගෙන එනු ලැබූ විවිධ දියවර මංගල්‍යය, ජල පූජා ආදී ජලය ආශ්‍රිත පුද සත්කාර යළි සිහිගන්වමින්, නකල්ස් කඳුකර කලාපය තුල පිහිටා ඇති පවිත්‍ර ජල මූලාශ්‍රවලින් ලබා ගන්නා පිරිසිදු ජලය භාවිතා කරමින් සකස් කරගන්නා ලද පැන් කළ හා නෙළුම් මල් පුන් කළස් 800ක් යොදා ගනිමින් මෙම පැන් පූජාව පැවැත්වෙන අතර, එය දුම්බර හරිත ස්වර්ණ උදක පූජාව ලෙස නම් කර තිබේ.

නකල්ස් කඳුකර කලාපයේ කෘෂිකාර්මික, ග්‍රාමීය සහ වතු ප්‍රජාවන් දේශගුණ විපර්යාසයනට අනුගත වීම ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති විවිධ ග්‍රාමීය සහ ජාතික ක්‍රියාකාරකම් සඳහාත්, ව්‍යාපෘතියේ මූලික අරමුණු ඇතුළු සමස්ත ව්‍යාපෘතිය සඳහාත් ප්‍රතිලාභී ප්‍රජාවගේ දායකත්වය ලබා ගනිමින්, ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීම පිළිබඳව එම ප්‍රජාවගේ ආකල්ප  ධරණීය ලෙස ප්‍රවර්ධනය කිරීම මෙම දුම්බර හරිත ස්වර්ණ උදක පූජාවේ මූලික අරමුණක් වේ.

එමෙන්ම, ප්‍රධාන ගංගා කිහිපයකට උපත ලබා දෙන, නකල්ස් කඳුකර කලාපයේ ජල මූලාශ්‍ර ඉදිරි දේශගුණ විපර්යාස හමුවේ සක්‍රීයව පවත්වාගෙන යාමට ඉවහල් වන මිනිස් ක්‍රියාකාරකම් සඳහා ප්‍රජාවගේ අවධානය ලබා ගැනීමටත්, අවිධිමත් සහ අහිතකර ජල භාවිතයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමත් ස්වර්ණ උදක පූජාව මඟින් සිදු කිරීමට ද අදහස් කරයි.

නකල්ස් කඳුකර කලාපීය ප්‍රජාවගේ මෙන්ම ප්‍රජා හා ජල සංවිධාන නියෝජිතයින්ගේ ද දායකත්වය මෙම පූජාව සඳහා ලබා ගන්නා අතර, බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමවාසී, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය, කථිකාචාර්ය, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් මෙම දුම්බර හරිත ස්වර්ණ උදක පූජාව මෙහෙයවනු ලබයි.

මේ වන විටත්, වාරිමාර්ග අමාත්‍යංශය ඇතුළු දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකාර ආයතනවල දායකත්වය ඇතිව මෙකී ස්වර්ණ උදක පූජාවේ සංවිධාන කටයුතු සිදු කරමින් පවතින බව දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ/ වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ඉඩම් හා නීති) චන්දිකා වී ඇතුගල මහත්මිය පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT