Home » කාන්තා ශක්තිය උරගා බලන ලෝක ක්‍රිකට් මහා සැණකෙළිය ඇරඹේ
ශ්‍රී ලංකා පාකිස්තාන තරගය අදයි

කාන්තා ශක්තිය උරගා බලන ලෝක ක්‍රිකට් මහා සැණකෙළිය ඇරඹේ

by sachintha
October 3, 2024 2:59 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වෙයි. ලොව පුරා කණ්ඩායම් දහයක් සහභාගි වන මේ තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට බංග්ලාදේශය හා ස්කොට්ලන්තය අතර දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාජා පිටියේදී ආරම්භ වේ.

ආසියානු කුසලානය දිනා මාස 2කට පසු චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන පෙරැළිකාර කණ්ඩායම බවට පත්ව සිටී. එම ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේදී ප්‍රබල ඉන්දී‍ය කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා පිල කෙරෙහි විශාල අවධානයක් යොමුව පවතී.

මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනන කණ්ඩායමට රුපියල් කෝටි 70ක (අමෙරිකානු ඩොලර් 2340000ක්) මුදල් තෑග්ගක් ලබා දීමට අයිසීසීය සූදානමින් සිටින අතර, අනුශූරතාවට රුපියල් කෝටි 35ක (අමෙරිකානු ඩොලර් 1170000ක්) මුදලක් පිරිනැමේ. අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 4ට රුපියල් කෝටි 20ක් (අමෙරිකානු ඩොලර් 675000ක්) තිළිණ කෙරෙන අතර, 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා සෑම කණ්ඩායමකටම රුපියල් කෝටි 8 බැගින් (අමෙරිකානු ඩොලර් 270000 බැගින්) හා 9 වැනි 10 වැනි ස්ථානවලට රුපියල් කෝටි 4 බැගින් (අමෙරිකානු ඩොලර් 135000 බැගින්) පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙයට අමතරව ජයග්‍රහණය ලබන සෑම තරගයකදීම රුපියල් ලක්ෂ 95 බැගින් (අමෙරිකානු ඩොලර් 31154 බැගින්) මුදලක් පිරිනැමීම විශේෂත්වයකි.

තරගාවලිය කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, ‘ඒ’ කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව ඇතුළත් වේ. ‘බී’ කාණ්ඩයෙන් බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් එක්ව සිටිති.

කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර මේ මස 17 හා 18 දිනවලදී අවසන් පූර්ව තරගවලට මුහුණ දෙන අතර, එයින් ජය ගන්නා කණ්ඩායම් දෙක මේ 20 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට සහභාගි වේ.

ශ්‍රී ලංකාවට අද හමුවන පාකිස්තාන පිල ආසියානු විස්සයි20 තරගාවලියේ අවසන් පූර්ව වටයේදී පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පැවසුවේ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට පැමිණියේ විශාල බලාපොරොත්තු සහිතව බැවින් පළමු තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වන බවය.

“අපට හොඳ සමබර කණ්ඩායමක් සිටිනවා. කණ්ඩායමක් ලෙස ගෙවී ගිය වසරක පමණ කාලයේදී අපි ඇත්තටම හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. මේ ලෝක කුසලානයේදී අපට ශක්තිමත් ආරම්භයක් ගත හැකියි. මේ තරගාවලියේ සියලු තරග ඉතා වැදගත්. ඒ නිසා පාකිස්තානයට එරෙහි ආරම්භක තරගයේ සිට තරගයෙන් තරගයට සැලසුම් සකස් කරනවා” යැයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී චමරි අතපත්තු පැවසුවාය.

“පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී දඹුල්ලේදී අපට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබුණා. එයින් අපට විශාල ධෛර්යයක් ලැබුණා. සාජා සහ ඩුබායි තරගවලදීත් ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය සහ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා” චමරි පැවසුවාය.

ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව හා පාකිස්තානය කාන්තා විස්සයි20 තරග 20ක් පවත්වා ඇති අතර, එයින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ 9ක් හා පාකිස්තානය ජයග්‍රහණ 10ක් වාර්තා කොට ඇත. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය. අවසන් වරට පැවති තරග තුනකදීම පිට පිට ජය ශ්‍රී ලංකාව සතුව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වන මූලික වටයේ තරග මෙසේය:

අද (3) ප.ව. 7. 30ට – පාකිස්තානය සමඟ සාජා පිටියේදී

05 දා ප.ව 3.30ට ඔස්ට්‍රේලියාව සමඟ සාජා පිටියේදී

09 දා ප.ව 7.30ට ඉන්දියාව සමඟ

ඩුබායි පිටියේදී

12 දා ප.ව. 3.30ට නවසීලන්තය සමඟ සාජා පිටියේදී

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT