ශ්‍රී ලංකාවට අහිමි වී ඇති ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවට නැවත එක්වීමේ අරමුණ ඇතිව තරින්ද රත්වත්තගේ නායකත්වයෙන් ජාතික පිරිමි කණ්ඩායමත්, රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් කාන්තා කණ්ඩායමත් අද (3) උදෑසන නේපාලය බලා පිටත්ව ගියහ.
ලබන වසරේදී ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවට ඇතුළත්වීම සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී හෙට (4) ආරම්භ වන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පිරිමි තරග අංශයට රටවල් 14කින් සහ කාන්තා තරග අංශයට රටවල් 8කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති.
ශ්‍රී ලංකාව සමඟ ඇෆ්ගනිස්තානය, බහරේන්, බංග්ලාදේශය, චීන තායිපේ, ඉන්දියාව, ජෝර්දානය, කසකස්තානය, නේපාලය, පාකිස්තානය, පිලිපීනය, කටාර්, සවුදි අරාබිය සහ උස්බෙකිස්තානය පිරිමි තරග අංශයටත්, කාන්තා තරග අංශයට ශ්‍රී ලංකාව සමඟ ගුවාම්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, නේපාලය, පිලිපීනය සහ උස්බෙකිස්තානයත් ඇතුළත් වෙයි.
කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන පිරිමි තරග අංශයේදී ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර, ඊට කසකස්තානය, කටාර් සහ සවුදි අරාබිය ඇතුළත් වේ. ශ්‍රී ලංකා පිලේ පළමු තරගය හෙට පෙරවරු 9.24ට කසකස්තානය සමඟ පැවැත්වීමට නියමිතය. කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන කාන්තා තරග අංශයේදී ශ්‍රී ලංකාව ‘එෆ්’ කාණ්ඩයෙන් තරග වදින අතර ඊට ඉන්දියාව, ඉරානය සහ ඉන්දුනීසියාව ඇතුළත් ය. ශ්‍රී ලංකා කාන්තා පිලේ පළමු තරගය හෙට පෙරවරු 11.54ට ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතය.
නිල්ෆර් ඉබ්‍රාහිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායමේ කළමනාකරු ලෙස කපිල නෝල්ටන් මහතා කටයුතු කරන අතර, ෂම්ලි නවාස් මහතා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, සුජානි රත්නායක මහත්මිය එම කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙසත් කටයුතු කරති.
ශ්‍රී ලංකා පිරිමි රග්බි පිල – තරින්ද රත්වත්ත (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, හේෂාන් ජැන්සේන්, කවිඳු පෙරේරා, ඩිලාන් ඒකනායක (මහනුවර ක්‍රීඩා සමාජය), ආකාශ් මධුසංඛ, යොමාල් සාරංග, සචිත් සිල්වා, හිරන්ත පෙරේරා (පොලිස් ක්‍රීඩා සමාජය), ජනිඳු ඩිල්ෂාන් (සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය), දර්ශන දාබරේ (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය), ෂාහිද් සුම්රි (ඉසිපතන විදුහල).
ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල – රන්දිකා කුමුදුමලී (නායිකා), සංජීවනී විජේතිලක, ශානිකා මධුමාලි, ජයමාලි සමන්තා, දිල්රුක්ෂි කුමාරි, සන්දිකා හේමකුමාරි (නාවික), චරනි ලියනගේ, දිලිනි කාංචනා, උමයංගනා තත්සරණී (යුද), සංජීවනී පෙරේරා, හේකාෂිණී ක්‍රිෂ්ණකුමාර් (ගුවන්), ඉදූෂා පෙරේරා (සීආර්).
ෆවුස් මොහොමඩ්
ඡායාරූපය – වාසිත පටබැඳිගේ